Friday, July 24, 2015

ජෙයා....


උඹ ගිහින්
අවුරුදු 32 ක් ගත වෙලා
හොඳටම කල් වැඩියි ජෙයා
මට හරිම පාලුයි....
මතකද උඹට අපි ජංගි කොට ගහන්
කොට තාප්පේ උඩ වාඩි වෙලා හිටපු හැටි

එදා .....ඒ දවසෙ ...
පාන්දර අපේ තාත්තා
උඹලව කෝවිලට ඇරලවනකොට
මං හොඳටම නිදි ජෙයා...
මට උඹේන්වත්
උඹට මගේන්වත්
සමුගන්න බැරි වුණා...

උඹට මතකද ජෙයා...
උඹලගේ ගේට්ටුවේ එල්ලිලා
ගේට්ටු පැදපු හැටි ...
උඹලගේ අම්මා හරි
අපේ අම්මා හරි
දෙන දෙයක් කන ගමන් අපි ගේට්ටු පැද්දා...

උඹට මතකද ජෙයා...
ඉස්සරහ දර මඩුවේ
දර කිරන තරාදියේ
පැත්තකට පඩි දාල
අනික් පැත්තට අපි නැගල
හොන්ඩර වලින් බර මැනපු හැටි
උඹට මතකද ජෙයා....

දැන් උඹත් මං වගේම වයසයිද
මගේ වගේම උඹේ කොන්ඩේත්
සුදු කොණ්ඩා එනවාද.....
හම රැලි වැටෙනවාද
කසාද බැඳලද...
මහත්තයා හැන්ඩ්සම් ද
ළමයි ඉන්නවාද
උඹ තවම ජිවිතේ විඳිනවද
නැත්නම මට වගේ උඹටත්
වගකීම් වැඩි වෙලාද
මට වගේම උඹටත් ... මාව මග හැරුනාද

ජෙයා..ඇති ජෙයා දැන්....
හරිම පාලුයි....
ඒක දවසක ඇවිත් පලයන්
ඉස්සර වගේ නෙමෙයි මං
දැන් හරිම ශක්තිමත්
බය වෙන්න එපා උඹ
ආයේ දෙන්නෑ මොකෙකුටවත්
උඹලගේ ගේ ගිනි තියන්න.......

4 comments:

  1. ජෙයා..ඇති ජෙයා දැන්....
    හරිම පාලුයි....
    ඒක දවසක ඇවිත් පලයන්
    ඉස්සර වගේ නෙමෙයි මං
    දැන් හරිම ශක්තිමත්

    ReplyDelete
  2. මමත් 83ට ගියා.....මොහොතින්...... ආයෙනම් දෙන්නේ නැහැ ඒ අතීතෙට පණ එන්න....

    ReplyDelete
  3. මම බොහොම ආසාවෙන් කියවපු සටහනක් මේක

    ReplyDelete
  4. මම මේක කියෙව්වා නෙවෙයි..ඉබේම කියවුණා..!!! එක වචනයක් බැලුවාම ඉතුරුවා ඉබේම කියවුණා...!!!

    ReplyDelete