Friday, July 8, 2016

ජීවිතය.....



ජීවිතය
එමමයි
එසේමයි
නුඹ
සිටියත්
නැතත් ...

Thursday, July 7, 2016

යසෝදරා......



පහන් කණුව යට
සිදුහත් හොයන
යසෝදරා ට
හමුවුණේ.....
දෙව්දත්!

Wednesday, July 6, 2016

නොනිමෙන මතකයක් II



ඊයේ රෑ රූපවාහිණියේ ගිය සංගීත වැඩසටහනක මිල්ටන් මලවාරච්චි ශුරීන්ගේ මේ මැයි ගහ යටගීතය අහගෙන ඉද්දි....හිත අතීතයට දුවල ගියේ මටත් නොදැනිම.

මැයි ගහක් යට නොවුණත් මහජන පුස්තකාලයේ තිබුණු යුධ විරු සමරු ස්මාරකය යට බැම්ම උඩ අපි දෙන්න වාඩි වෙලා කතා නොකරපු දෙයක් තියෙනවද....

මට තවම මතකයි.... අපි දෙන්න දවසක් වැස්සට තෙමෙන්න ඕන වෙලා ඔහේ හිටිය බැම්ම උඩ වාඩි වෙලා....එදා අපිට ආරක්ෂක අංකල් කෙනෙක් ඇවිත් යන්න කියනකම් අපි ගියේ නැහැ....තෙමිලා තෙත බරිත වෙලා....පුස්තාකාලයම අපි දිහා බලාගෙන ඉද්දි, අපි දෙන්න හිනාවෙවී කැන්ටින් එකට ගිහින් ප්ලේන්ටියක් බිව්වා.....

අද වගේ මතකයි ඒ දවස.....

දවසක් මම පුස්තකාලයේ පාඩම් කරන්න ගිහින් ඉන්නකොට....දවල් දොලොහට එලියට ආව කෑම කන්න.

මගේ යාළුවො මට කියන්නේ ඔයා ඉස්සරවෙලා යන්න අපි එන්නම් නැතිනම් ඔයා එනකම් අපි බලාගෙන ඉන්න ඕනේ කියල...ඒ තරමට මට යාළුවො හිටියා...පාඩම් කරන ශාලාවේ ඉඳල කැන්ටින් එකට යන්න සෑහෙන වෙලාවක් යනවා පල්ලෙහාට බැස්සම.

එදාත් මම තනියම පහලට බහිනකොට ඔයා හිටිය ප්‍රධාන දොර ළඟ...කවදාවත් මට ඔයාගේ මුහුණ කෙලින් බලන්න හැකියාවක් තිබ්බේ නැහැ. කොච්චර යාළුවො ගොඩක් හිටියත් ඔයා දිහා කෙලින් බලල කතා කරන්න මට හැකියාවක් තිබුනේ නැහැ.... ඔයාගේ ඇස් දෙක දිහා බැලෙද්දී මම ටක් ගාල බිම බලාගන්නවා. ඒත් ඔයා ලස්සනට හිනා වෙනවා...මට ඒ හිනාවත් දරා ගන්න බැහැ.....

මම හිතුවේ නැහැ ඔයා ඉන්නේ මගෙත් එක්ක කතා කරන්න කියල . ඔයාව ඈතදීම දැකල මම බිම බලාගෙන යන්නයි ගියේ...නිම්නා....ඔයා මගේ නම කියනවා ඇහුණාම මම අමාරුවෙන් ඔයා දිහා බැලුවේ....

මට පොඩ්ඩක් ඔයාව හම්බ වෙන්න පුළුවන්ද.....
මාව...?
ඔව්....
ඇයි?
අපි පොඩ්ඩක් අතනට ගිහින් කතා කරමුද? ඔයා යුධ විරු ස්මාරකය පෙන්වමින් ඇහුවා.....
මම බිම බලාගෙනම එතනට ඇදුනත්, පුංචි චකිතයක් හිතේ තිබුණ.

අපි වාඩි වුනාට පස්සේ...ඔයා කතා කරන්න පටන් ගත්ත....

ඔයා ජපුර වීරසුරිය සමරුවට ගියා නේද? කොළඹ තිබුණ විරු සිසු ප්‍රදර්ශනයත් බලන්න ගියා....
ඔයා කොහොමද දන්නේ....?
මම දැක්කනේ ඔයාව....
ඉතින් කතා කලේ නැත්තේ...?
ඔයා බයවෙලා දුවයි කියල....හිනාවෙන ඇස් වලින් හිනා වෙමින් ඔයා කිව්වේ....

ඉතින් ඇයි මගෙත් එක්ක කතා කරන්න ඕන කිව්වේ...? යාළුවො ආවොත් මං ඉවරයි....
ඒ ගොල්ලෝ දැක්ක....බල බල කැන්ටින් එකට ගියා ඒ ගොල්ලෝ....
හපොයි.....

මාව වැරදියට හිතන්න එපා...අනික් පිරිමි ළමයි වගේ ඔයාගෙන් යාලුවෙන්න අහන්න නෙමෙයි මට ඕන වුණේ. මම කැමතියි ඔයා එක්ක කතා කරන්න.... සමාජය ගැන, දේශපාලනය ගැන, අපි ගැන.

මං බයවෙලා බලාගෙන හිටිය....
දැන් තවත් බය වෙන්න එපා.....මං ඔයාව බය කලානම් සමාවෙන්න.

නැහැ බය වුනේ නැහැ...ඒත් කතා කරන්න තරම් මම දේශපාලනය ගැන සමාජය ගැන දන්නේ නැහැ....මම දේශපාලනයට කැමතියි. ඉගෙන ගන්න උත්සහයක් දෙනවා...එච්චරයි....

ඉතිං මාත් ඔහොම තමයි....හලෝ.....අපි දෙන්න එක වයසේ....

එදා ඉඳන් අපි දෙන්න ලැබෙන හැම වෙලාවකම ඒ බැම්ම උඩ ඉඳගෙන කතා කළා... 

කෑම කන වෙලාවට....තේ බොන වෙලාවට....පාඩම් කරල ගෙදර යන්න කලින්....

අපි දෙන්නට කාඩ් එකක් වදින්න එච්චර කල් ගියේ නැහැ....

නිම්නා - කැලුම් යාලු වෙලා....

පුස්තකාලය ගිනි ගත්ත....

ඒත් අපි දෙන්න අතරේ ආදර බස් කියවුනේ නැහැ කවදාවත්....

අඩුමගානේ දවසට පැය භාගයක්වත් කියවන්න.....ඔයා මට කියවනන් පුරුදු කළා.

දවසක් ඔයා මට තෑග්ගක් ගෙනාව ඇට මැස්ස’ ..... ඕක කියවන්න ඕනෙමයි....
මාත් කියෙව්වා....එක පාරින් මම ඇට මැස්සට ආදරේ කරනන් පටන් ගත්ත....
අපි දෙන්න පොත ගැන කතාකලා....ඊට පස්සේ ඔයා දිගටම මට ඒ වගේ පොත් ගෙනත් දෙනවා....

ඊට පස්සේ දවසක් ආව....ඔයා ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් ඔයා විශ්ව විද්‍යාලයට ගියා ....

මට යන්න බැරි වුණා......

ඒත් අපේ සහෝදරත්වය එහෙමම තිබුණ..... නමුත් හැමදාම හම්බ වෙන එක කරන්න පුළුවන් වුණේ නැහැ. ඒත් පුළුවන් වුනු හැම වෙලාවේම ඔයා මාව බලන්න ආව.

ඔයා උසස්පෙළ ශිෂ්‍යයන්ට පන්ති කළා....අවශ්‍ය වියදම් හොයාගන්න.....

ඉතිං ඔයා කීප දවසක් ආවේ නැති වුණත් මම තැකීමක් කලේ නැහැ...මොකද මම හිතුව ඔයා පුළුවන් වුනු ගමන් එනවා කියල....සතියක් විතර දකින්නවත් ලැබෙන්නේ නැති ඔයා....හදිසියේම මම කන්න කැමති මොකක් හරි අරගෙන...ඒ එක්කම පොතකුත් අරගෙන....දවසක ඔෆිස් එක ලඟ.....අපිට ඒ දවස්වල ජංගම දුරකථන තිබුනේ නැහැ...අපි දෙන්න එකම නගරයේ පාරවල් දෙකක හිටියත් අපි ලියුම් ලිව්වා....

අසාධාරණ සමාජය ගැන ඔයා මට පිටු ගණන් ලියල එව්වා....

මම ඒවා කියවල පරිස්සමට එකතු කළා....

දවසක් මම ඔයාගේ ගෙවල් ලඟින් බස් එකේ යනකොට....මල ගෙදරක් තියෙනවා දැක්ක...හරියටම ඔයාගේ ගෙදර දන්නේ නැති වුණත් ඔයා ඉන්නෙත් ඒ හරියේ නිසා මම හිතුව රෑට නම් ඔයාත් මල ගෙදර නිදි මරනවා ඇති කියල....

ආයේ දවස් පහකට විතර පස්සෙත් මම එතනින් යනකොට ඒ මල ගෙදරට ගහපු හට් එක එහෙමම තිබ්බ....බස් එකත් මටම කියල වගේ, ඒ හරියේ නැවැත්තුවේ.....

අනිච්චාවත සංඛාරා.....කැළුම් නවරත්න සොයුරාට නිවන් සුව පතමු !

මට මතක තිබුනේ එච්චරයි.....සිහිය එනකොට බස් එකේ මිනිස්සු මාව වට කරගෙන....

ඇයි දරුවෝ....මට කියන්න දෙයක් තිබ්බේ නැහැ... ඒත් ඇස් වලින් ගලාගෙන ගිය කඳුළු නවත්තගන්න හැකියාවක් තිබ්බෙත් නැහැ.....

එදා රෑ කොහොම ගත වුනාද කියල මට අද වෙනකම් මතකයක් නැහැ.....

පහුවෙනිදා උදේම මම යාලුවෙක් එක්ක ඒ මළගෙදරට ගියා.....

ඔයාගේ පින්තුරයක් තියල පහනක් පත්තු කරලා තිබුනා...මරණේ කටයුතු ඉවරවෙලා දවස් දෙකක් ගිහින්.....

ඔයාට හිටියේ අක්ක විතරයි...අක්ක කටුනායක රස්සාව කරන්නේ. ඔයා යාලුවෙක් එක්ක ගෙදර හිටියේ කියල මම දැනගෙන හිටිය. මම අක්කට කතා කළා....

අනේ නංගි....එයා ළඟ සල්ලි තිබිල නැහැ බෙහෙත් ගන්න....යාලුවට කිව්වලු ටියුෂන් සල්ලි හම්බ වෙනකම් මේක තිබුණොත් බෙහෙත් ටිකක් ගන්නවා කියල........අන්තිම දවසේ පපුව අල්ලාගෙන කෑගහද්දී....යාළුවා වාහනයක් කතා කරන්න එලියට ගිහින්, එයා එනකොටත් මල්ලිට සිහිය නැහැ ලු.... ඉස්පිරිතාලෙට ගෙනියන කොටත් මල්ලි නැති වෙලා.....

අන්තිමේ ඔයා මට නැතිවුණා....දකින්නෙත් නැතුවම....කතා කරන්නෙත් නැතුවම....ලියුමකුත් නැතුවම...කිසිම පනිවුඩයක්වත් නැතුවම....නැතිම වුණා.....

මම පාරේ අලවල තිබුණ ඔයාගේ මරණ දැන්වීමක් ඉරාගෙන ගෙදර ආව.....අදටත් මට ඒක විතරයි.....

ඔයා හැමදාම ඔයාගේ ලියුම් වල අගට ලියනවා.... එවිට මම මියගියත් වාසනාවන්ත මැස්සෙක්මි’...... කියල.

ඔයාට ඒ වාසනාව ඇත්තටම ලැබිල...නමුත් මට.... මට ඒ මතකයත් එක්ක ජිවත් වෙන්න වෙලා....හැමදාම හැම තත්පරේදීම ඔයාව මතක් වෙවී....

වැහි පොද වැටුනත් ඉස්‌සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක්‌ නැත අද මා පමණයි
මැයි ගස්‌ සෙවනේ අඳුරුපෙතේ...
මැයි ගස්‌ සෙවනේ අඳුරු පෙතේ....