Sunday, October 15, 2017

හඳ පළුව තනි තරුව.....

මේ හඳ පළුව තනි තරුව පිළිබඳව විග්‍රහයක් නොවේ. ඒ පොතේ කතාවත් එක්ක මගේ හිතේ දිගහැරුණ මගේ කතාව. මගේ කැලිග්‍රැෆිය හරහා මට ඕනේ නිශ්ශංක විජේමාන්නයන්ගේ චාරුලේඛය කියවගන්න ඔබට රුකුලක් දෙන්න.

ටිකක් දිග වැඩියිද කියලත් හිතෙනවා. නමුත් උපුටා ගැනීම් බොහොමයක් තිබෙන හින්දයි ඒ. 
 
හඳ පළුව තනි තරුව කියවා නිම කලෙමි. ඊයේ සවස එකදිගට ඇදහැලුන වැස්සේත් පරිගණකයේ වැඩ කරමින් සිටිද්දී අත හරහා ගිය විදුලිය හා ඒ නිසා විසන්ධි වුන ට්‍රිප් සුවිචය ප්‍රයෝජනයට ගෙන මම මුළු හැන්දෑවම තනි තරුව සඳහා වැය කළෙමි.

පොත කියවූ සමහර දෙනෙක්ගේ තිබුණු නොකැමැත්ත නිසා එම මතයන්ට හසුවී හඳ පළුව මෙතෙක් දිනක් නොකියවා සිටියෙමි. නමුත් ඊයේ රාත්‍රියේ මම එය පසෙකින් තැබුවේ එයට ආදරය කරමින්ය.
පොත් ප්‍රදර්ශනේ අවසාන දවස් කීපයේ ‘මේ පොත මේ වනවිටකොපි 22,000 ක් විකිණී හමාරයි’ කියන බැනරය විදර්ශනා කුටියේ දමා තිබෙනු දුටිමි. එය පසුව දැම්ම එක වඩා හොඳයයි සිතුවේ එය මුලින් දුටුවානම් මම පොත මිලදී නොගන්නට ඉඩ තිබුණු නිසාය. මා රැගෙන තිබුණේ පොතේ පස්වන මුද්‍රණයයි. නිශ්ශංක විජේමාන්න මහතා විසින් අත්සන් තැබූ කොපියක්ම ලැබුනේ මුල් දවස් කීපය තුළදී මිලදී ගත් නිසා විය යුතුය. මෙවර ප්‍රදර්ශනයෙන් ගතිපු වන්නදාසි, මොණර බිත්තර, නිර්වාණ, ගරුඬ මුහුර්තය පසෙකින් තිබියදී මේ පොත කියවීම පිළිබඳ මම සතුටු වෙමි. ඒත් අනෙක් පොත් කියවා හමාර වනවිට මේ සිතුවිල්ල වෙනස් වන්නට ද පුළුවන. අපි ඉතින් මිනිස්සුනේ. කෙසේවෙතත් පොතක් වශයෙන් මම ‘තාරා මගේ දෙව්දුව’ ට ආදරය කරන තරමටම ‘හඳ පළුව තනි තරුව’ ටත් ආදරය කරමි. ඉතින් ඒ ගැන පුංචි සටහනක් ලියා තබන්නට අදහස් කලේ පොත කියවගෙන යද්දී දැනුනු යම් යම් හැඟීම් නිසාය. අවදිවෙච්ච මතකයන් නිසාය. කතා ගොඩක් තියෙන හඳ පළුව ගැන, ඊට තවත් කතා කීපයක් එකතු කර පුංචි අදහසක් ලියා තබමි.

මට හිතෙනවා සමහර විට අපි මේ පොතට අකමැති වෙන්න එක හේතුවක්ද කියල මේක ලේඛකයාගේ කතාව නෙමෙයි කියල අපිට පෙන්වන එක. ලේඛකයා ඉන්නේ එළියේ. එයාත් කතාවේ චරිත සමඟ සම්බන්ධ වෙනවා විටින් විට. නමුත් මම කැමතියි ඒක එයාගේ කතාව වුණානම්, මොකද එතකොට ඒක කියවගෙන යද්දී අපේ කතාව වෙනවා, මගේ කතාව වෙනවා. නමුත් මේකේ වරින් වර අපට මතක් කරනවා මේක ලේඛකයාගේ කතාව නෙමෙයි කියල.

අනික් පැත්තට ඒ වගේම මම අකැමතියි, පොතේ චරිත වලට ලේඛකයා එක්ක සංවාදයක් හදලා අපිට කතාව “සත්‍ය කතාවක්” කරන්න උත්සහ කරලා තියෙන එකට. ඔව් මේක නිශ්ශංක විජේමාන්න ගෙ කතාව නෙමෙයි නමුත් ඔහුගේ මිතුරු ‘විපුලා’ ගෙ කතාව කරන එකට මම අකමැතියි. හැබැයි එහෙම කරන්න වෙලා තියෙන්නේ කතුවරයාට, හැම වෙලේම ඕපාදුපයක් හොයන අපේ ඇස් සතුටු කරන්න කියලයි මට හිතෙන්නේ. අපි හොයන්නේ කාගේ හරි කතාවක්....ඒකයි අපි හිතන්නේ කතාව තේරුම් ගන්න පොත කියවල ආපහු මුල කියවන්න ඕනේ කියල. මොකද අපි හොයන අර ඕප දූප රසය සම්පුර්ණ වෙන්නේ එතකොට. නමුත් පොතෙන් ගන්න ගොඩාක් දේවල් තියෙද්දී අන්තිමට කියවලා ආයේ මුල කියවල, හරි කතාව තේරුම් ගත්තා, මාර ලස්සන කතාව හෝ අපෝ වැඩක් නැති කතාව කියල පැත්තකින් තියන්න කැමති නැහැ මම මේ පොත.

මේකේ කතා කරන ගැටලුවට (මම සංහිඳියාව කියන වචනේ මෙතන භාවිතා කරන්නේ නැත්තේ ඒක අපිට ඇලජික් නිසා) එහෙම නැතිනම් සමාජයේ අපිට තියෙන බොහෝ ගැටලුවලට පිළියම තියෙන්නේ ප්‍රශ්නය අපේ කරගත්තොත් කියල තමයි මම හිතන්නේ. අපිට තියෙන ප්‍රශ්න වලට තියෙන්නේ පොදු විසඳුම් මිසක් තනි තනි විසඳුම් නොවන බව තේරුම් ගන්නේ කවදාද කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන ජිවත්වන කෙනෙක් හැටියට මට හැඟෙන්නේ අපි ප්‍රශ්නය අපේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් දිහා අවධාරණයෙන් බලන්නේ නැති කම.

විපුලාගේත් ශරිරාගේත් කතාව වගේ, මේ කතාව මගේ කතාව කියල හිතෙන තරමටම කතා කීපයක් මමත් අහල දැකල තියෙනවා....කුමාරි කුමාරගමගේ ලියපු ‘කෙටි කරපු දිග කතා’, ‘උරෙයිප්පු සාපාඩු’, ‘ගැහැණු කතා’ මතක් වුණා හඳ පළුව කියවද්දී. ඔව්, කුමාරි ලිව්වා වෙච්ච දේවල්. අපිට වැරදුනු තැන් නිසා අතීතයේ වරදින් වර්තමානයේ දුක් විඳින මනුස්සයන් ගැන....නිශ්ශංක විජේමාන්න අතීතයේ නොවැරදුනු තැන් වලින් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේ වෙන්න යන දේවල් වලක්වන්න ලියලා.......

මම දැක්ක කවුරුහරි උපහාසාත්මකව කියල තිබුණ පොත අලෙවි වුණා ‘සංහිඳියාව’ ගැන තිබුණනේ කියල. තව කෙනෙක් කියල තිබ්බ පොතට සම්මාන ලැබුණා ‘සංහිඳියාව’ ගැන තිබුණනේ කියල. අපි හරි දක්ෂයි නේ ඕනෑම දේකට ලේබල් එකක් දෙන්න. ‘සංහිඳියාව’ කියන්නෙත් අන්න ඒවගේ ලේබල් එකක් හැටියට තමයි මම දකින්නේ. මේ දේවල් සංහිඳියාව කියන වචනයකට ලඝු කරන්න පුළුවන්ද? එතරම්ම සරලද අපේ තත්වය. මනුස්සකම් නැති වෙමින් යනවා, මනුස්ස සම්බන්ධකම් ගැන මිනිස්සු ගණන් ගන්නේ නැහැ. අපිත් එක්ක ඉන්න මිනිස්සු ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැතිව සියදිවි නසා ගන්නවා, අපි තාප්ප වලින් වට වෙච්ච ගෙවල් වල ජීවත් වෙනවා, අපිට ප්‍රශ්නයක් වෙනකම් අපි අනික් කෙනාට වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ, අපි ලේ වල ආගමේ ජාතියේ පාට හොයනවා, අපි මනුස්සයෙක්ට ලංවෙන්නේ අනෙක් මනුස්සයට තියෙන ලේබල් ටික අපේ ලේබල් වලට සමාන නම් විතරයි. මහපොළවේ තත්වය එහෙමයි. ඉතින් හඳ පළුව වගේ පොත් තව ගොඩාක් ඕනේ. ඒවා අපි අතරේ සමාජ ගත වෙන්න ඕනේ. හඳ පළුව අපිට මතක් කරනවා මේ මතුවෙමින් එන වෛරය, අලුත් වෛරය අතහරින්න ඕන කියල. අපි වෙන් වෙන්ව නෙමෙයි එකට හිටියේ ඉතිහාසයේත්, අතීතයේත් කියල. වර්තමානයේ හැදෙන්න යන අලුත් සතුරු දෙපිල නිශ්ශංක විජේමාන්නයන් හොඳින් හඳුනාගෙන. ඔඩු දුවන්න කලින් හඳුනාගෙන බෙහෙත් කරන්න ඔහු ලැස්ති වෙලා. Prevention is Better than Cure!

ඉතින් මේ විස්තර කියන්න නෙමෙයි ඇත්තටම මේක ලියන්න ගත්තේ...හඳ පළුව කියවද්දී මතක් වුණු මගේ චාරු ලේඛණ බෙදාහදාගන්න ඔබත් එක්ක. ඒවාත් එහෙන් මෙහෙන් පොතත් එක්ක ගලපන්න උතසහයකුත් දරනවා. මොකද මේ සියල්ල ආයේ මගේ මතකයේ හොල්මන් කරන්න ගත්තේ හඳ පළුව නිසා.

ඉතිං මං පටන් ගන්නම්;
 
--------------
අපිට ඕන ඕකද..? ගෑණු මනුස්සය එහෙම අහනකොට මම පුදුම වෙලා නතර වුණා. “ඒකටනේ පොලිසි උසාවි තියෙන්නේ....ඔයාට ඕනේ මේ වෙලාවේ සිමෙන්තිවලට රුපියල් දහයක් වැඩිවුණේ ඇයි කියලා හොයන එක නෙවෙයිද?” (පිට 3)

“......අනික මේ ගමට තාම අර්බුදය දැනිල නෑ. ගෙවල්වල ටී.වී. තියෙනවා. අතේ හෑන්ඩ් ෆෝන්, මෝටර් සයිකල්, ගෙවල්වල කරන්ට්...කොහොමහරි මස් මාළු එක්ක බතක් කනවා....කෝ අර්බුදයක්? (පිට 45)

“ප්‍රෙෂර්, දියවැඩියාවට ක්ලිනික් යන ගණන, රට ගිහින් නිකම්ම ගෙදර ආපු ගෑනු, මිනිහෙක් නැතිව දුක් විඳින භාර්යාවෝ....මං කියන්නේ මේකයි....” ඔහු නැවත එලියට හොටු සිරුවේය.

“කෝ අපේ ළමයින්ගේ නව නිර්මාණ, කෝ සාහිත්‍යය, කෝ ක්‍රීඩා ජයග්‍රහණ. එහෙම නැත්නම් කෝ ගමට නායකයෙක්, කෝ ගැහැණු ළමයින්ට අනාගතයක්....ඒගොල්ලෝ ළමයි වදන මැෂින්ද? අපේ දේශපාලනඥයෝ එන්නේ ඡන්දේ කාලෙට. ජන ජීවිතය ඔසවා තබනවා කියනවා. වෙන්නේ පෑගෙන එක...ඒ අතරේ මහ ජාතිය හිතනවා අපි ජනගහණය වැඩි කරගන්නවා රට අල්ලන්න කියලා.” (පිට 46)
---------------

මට මතක් වුණා වරක් ‘අර ලේ’ ‘මේ ලේ’ ගැන කතා කරන කාලයේදී සම අයිතිය ව්‍යාපාරය විසින් උපුටාගෙන තිබුණු ‘තිබුණත් මොන ලේ ඔක්කොම එක වලේ’ කියන පාඨය. පොතෙත් ගොඩ නගන්න හදන්නේ ඒ තර්කය නෙමෙයිද? බඩුමිල අහස උසට නැගෙමින් තියෙනවා, හාල්, පොල් වගේ අත්‍යාවශ්‍ය ආහාර දුප්පත් මිනිහට ලඟා වෙන්න බැරි තරමට ඈතට යමින් සිටිනවා. විවිධ බදු පනත් පාර්ලිමේන්තුවේ සම්මත වෙමින් සිටිනවා. වංචාව දුෂණය සාමාන්‍යකරණය වෙමින් යනවා, වැඩ කරන මිනිහ කීපවතාවක් බදු වලට අහුවෙමින් තිබෙනවා, ගෙදර ඉන්න රැකියා කළහැකි සියලු දෙනා වැඩ කරන්න ඕන වෙනවා, හරියට කාල ඇඳලා ඉන්න ඕනෙනම්, සමාජ ජිවිතයක් ගත කරගන්න අපිට හැකියාවක් නැහැ මොකද විනෝදය සඳහා වියදම් කරන්න අතිරේක මුදල් නැහැ අපිට...... මේ වගේ ජාති ආගම් කුල බේදයක් නැතුව අපි හැමෝම සමාජ ආර්ථික ප්‍රශ්න ගොඩක හිරවෙලා. නමුත් අපි?.....

ඇත්තටම අපි අල්ලාගෙන ඉන්නේ අපි අල්ලා ගත යුතු තැනින්ද කියන එක ‘හඳ පළුව තනි තරුව’ අපෙන් ප්‍රශ්න කරනවා.

---------------
“සර් දන්නවනේ මං උගන්නන්නේ ඉතිහාසය. ලංකාවේ ඉතිහාසය. හිතන්න..ඒකෙ එකම තැනකවත් අපේ මුස්ලිම් ළමයින්ට ඒ අයගේ දෙයක් කියවෙන්නේ නැහැ. සිංහල ඉතිහාසයක්නේ අපේ මේ කියවන්නේ. අපේ අය ගැන කියවෙන ඒවා කෝ...? සිද්ධි ලෙබ්බේ ගැන විතරයි.”
............................................

“.....සිංහල ගෝත්‍රිකයන් ප්‍රමුඛ මේ රටේ පාලනය ගත්තම ඒක රජවරුන්ගේ ඉතිහාසය. ආර්ය, ලම්බකර්ණ, මැලේ, වඩුග...ඇයි ලංකාවේ එක ජනාධිපතිවරයෙක් එයාගේ සීයා මුස්ලිම්. ඒ ඔක්කොම ලාංකික. එයාල ඒක හැඳින්වූවේ සිංහල කියන නමින්. නමුත් සිංහල කියන ගොඩයි ලාංකික කියන ගොඩයි සෑම විටම එකක් නොවීමයි සිදුවුණේ.”

“ඔව්.” ඉතිහාස ගුරුවරයා කිය. “...විජය රජ්ජුරුවෝ කලිඟු. පස්සේ සිංහල...මිහිඳු හාමුදුරුවෝ දෙමළ. පස්සේ සිංහල. සුභ දෙමළ, පරාක්‍රමබාහු දෙමළ හා සිංහල. කිර්ති ශ්‍රී රාජසිංහ දෙමළ, ඒත් එයාල ලාංකික වෙනුවට පෙනී හිටියේ සිංහල වශයෙන්.” (පිට 43-44)
---------------

කාත්තන්කුඩියේ තියෙනවා කෞතුකාගාරයක්. එය නම්කර තිබෙන්නේ 'උරුම කෞතුකාගාරය' ලෙස. ඔබ එය නැරඹීමට ගොස් නැතිනම් එහි යන්න කියා මම ඔබට යෝජනා කරනවා. ගිය සතියෙත් දෙතුන් විටක් ඕක පහුකරලා යන්න වුණා. මට හැඟුණ දේ තමයි කිසියම් ජාතියකට ඒ ජාතිය තමන්ගේම රටේ ඉතිහාසය, සංස්කෘතිය, ආර්ථිකය, සමාජය එක්ක බද්ධයි කියල ඔප්පු කරන්න සිදුවීමම කොතරම් ඛේදවාචකයක්ද? ඒ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැති වුණහම සුළුතරයකට ඔවුන් මේ බිමේ ජීවත්වීම සාධාරණීකරණය කරන්න වුණහම, එක කොයිතරම් ඛේදවාචකයක්ද? ඒ ඛේදවාචකයට අපි මුහුණ දීලා. කාත්තන්කුඩියේ කෞතුකාගාරය තමයි ඒ ඛේදවාචකයේ ප්‍රකාශනය. මුස්ලිම් ජනතාව අතීතයේ සිට මේ රටේ පාලකයෝ එක්ක බැඳී සිටියේ කොහොමද? කළ සේවය කෙසේද? ඊටත් වඩා සිංහල ජනතාව එක්ක මුසුවී සිටියේ කෙසේද? කියන ප්‍රශ්න වලට පිළිතුරු සපයන ඒ කෞතුකාගාරය වැනි එකක් බිහිවීම පිළිබඳවත් මට මහා ලැජ්ජාවක් දැනුනේ. ඒකට මමත් වගකියන්න ඕන කියලයි මට හිතුණේ. 
 
ඉතින් මෙතැන දී නිශ්ශංක විජේමාන්නයන්ට මගේ ප්‍රණාමය හිමි වෙන්නේ ඒකයි, ඔහු ‘මා රැක්ක ලේ’ ගැන කතා කරන්නේ ඔහු තමන්වෙත වගකීමක් පවරා ගතිපු නිසයි කියලයි මට හිතෙන්නේ.

---------------
“කිසිම බණ පොතක්, ධර්ම ග්‍රන්ථයක්, දේශපාලනඥක් අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ සර්.” අනිල් කිය. “...අපි බලමු අපට පුළුවන් දේ. ඔයාගේ කල්පනාව හොඳයි. එහි ඔබ නොවන අනිකා ගැන හිතුවිලි මෛත්‍රියෙන් පිරීලා...අපි යහපත් දේම කරමු.” (පිට 46)
---------------

මම මේකට මුකුත් කියන්නේ නැහැ. නමුත් චන්ද්‍ර කුමාර වික්‍රමරත්නයන් ගේ ‘භූගත කවි සිත’ පොතෙන් උපුටා ගත් පද කීපයක් පමණක් සඳහන් කරන්නම්.

එකම අපායක අප හැම දැවෙන සඳ
වෙනම අපායක ඉන්නට පතයි නුඹ
අපා දෙකක කිරුළට යුධ වදින සඳ
කඳුළු කඳුළුමය කාගේ වුණත් මට

පැලී විවර වූ ලයකින් නඟන හඬ
මගේ ළය පැළුණු විට නඟනා හඬය මට
ඔබත් මමත් උන් තුන් පිළකම වුවද
ඔබේ මරණයත් මගේ මරණය සේය මට
(භූගත කවි සිත - පිට 29)

---------------
“කාරණේ එයා පිළිගන්නේ නැහැ එයා සිංහල බව එයාගේ භාරකාර පියා ඒ අදහස එයාට දීල තියෙනවා.”
“මොකද්ද ජාතියක් නැහැ කියලද?” ගණිත ගුරුතුමා ඇසුවේ උපහාසය දෑසේ රඳවාගෙනය.
“ජාතියක් නැහැ නොවේ. හැම ජාතියකටම අයිති කියන එක.”
...................................................
...................................................
“කතා කරනකොට මෑන් සිංහලද දෙමළද කියන්න හොයන්න බැරි තරමට භාෂා දෙකම නියමෙටම කතා කරනවා.... (පිට 56)

---------------
“.....මම ආපහු ආවේ විජේ අර ස්කොලේ අපි ඇඳපු මැකිලා ගිය චිත්තරේ ඔයත් එක්ක ආයේ අඳින්න...විශ්වාසෙට අඳින්න....පාට පාට සමනල්ලු ගොඩාක් පියඹාගෙන යනවා මට පේනවා. චක්‍ර, පත්‍ර, අඩසඳ, තරු, ඩෙල්ටා, ත්‍රීශුල, බෝපත්‍ර, ඊතල, ලිංග රූප, කුරුස හැම දෙයක්ම අතරින් සමනල්ලු....!” (පිට 9)
---------------

මම පෙරත් සඳහන් කර තිබෙනවා......... අපි හරි කැමතියි අපිට ලස්සන ලේබල් ගොඩාක් ගහ ගන්න. ඉපදුනු දවසෙම නොදැනුවත්වම උප්පැන්න සහතිකේ හරහා එනවා ලේබල් කීපයක්; ජාතිය, ආගම, ඒ විතරක්ද වාසගම. ඊට පස්සේ අපි හිමින් හිමින් රේස් එකට එකතු වෙනවා ලේබල් ගසා ගැනීමේ රේස් එකට.... අපි උසස් ගොවිගම, වාසගම ඉවර වෙන්නේ d e n a, d a n a නෙමෙයි. අපි .....රත්නලා...ගම අම්බලංගොඩ, මම නුවර, මම කොළඹ, ස්කොලේ රෝයල් මම විශාකා, උසස්පෙළ බයෝ, එයා ආට්ස්, විශ්ව විද්‍යාලේ පේරාදෙණිය/රුහුණ, මට අපර් එකක් තියෙනවා, පශ්චාත් උපාධි දෙකක් මට, රැකියාව විධායක, මම මධ්‍යම පංතියේ....ඔය වගේ ලේබල් කොතරම්ද? අපි ඒවා කැමැත්තෙන්ම ගහ ගන්නවා.

කවුරුහරි හිතුවද නිකමට හෝ මේ ලේබල් එකක් වත් භාවිතා නොකර නිකන්ම නිකන් ‘මනුස්සයෙක්’ වෙන්න. ඔබ අනෙකාගෙන කොතරම් වෙනස් ද කියා පෙන්වන්න නොව, නමුත් අනෙකා මෙන්මයි ප්‍රකාශ කිරීමට, ඔබව හඳුනා ගැනීමට තියෙන එකම නිර්ණායකය ඔබ මනුස්සයෙක් පමණක් වීම කියන තත්වයට එන්න ඕන කියල කවුරු හෝ හිතුවද? ඔබට අඩුම තරමේ හැකිද බලන්න ඔබගේ ජීව දත්ත පත්‍රයේ වත් ‘ජාතිය’ ලෙස ‘මනුෂ්‍ය’ කියා භාවිතා කරන්න. මං ඔබෙන් ඉල්ලා සිටිනවා උත්සහ කරලා බලන්න කියල.........මොකද ඔය ලේබල් එකක්වත් අපේ ඇඟේ නැති වුන දවසට අපිට අනෙකාගේ පැවැත්ම පිළිබඳව බය වෙන්න ඕන නැහැ. අනෙකාගේ පැවැත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනෙකාත් මම මයි. මමත් අනෙකාමයි.

---------------
“මහ ජාතියට හැම වෙලාවේම හතුරෙක් ඕනලු.” ගුරුවරයා ජෙලාබ්දින් මාමාට පැවසුවේ ඔහුගේ උත්තරය කුමක්දැයි හඳුනාගන්නටය.

චී...චී..එක පොරුවක්...! මාමා කියයි.

මාම ම හිතන්න 83 දී ඒ අය දෙමළ අයට ලොකු ඩැමේජ් එකක් කළා. 2009 යුද්ධෙ ඉවර වුණාම එයාලට පිරිමහින හතුරෙක් නැති වුණාම ඒගොල්ල හැරෙන්නේ මුස්ලිම්වරු දිහාට. ඔය ‘භගවත් බලෑණියට’ ආණ්ඩුව උදව් කරනවා වෛරේ පතුරන්ඩ.”

“ඒකත් වැරදි පුතා. අපි සාමකාමිව හිතමු. සෑම සත්‍යයක් වෙනුවෙන්ම එයාල පිළිගන්න දේට හරි, විරුද්ධවාදීන්ගෙන් ප්‍රවේසම් වෙන්න හරි කණ්ඩායම් වෙනවා. මහම්මත්තුමාටත් සේනාවක් හිටියා.”
.........................................................

මේවට වුනත් පන තියෙනවනම්....” ඔහු කංකුන් මිටි ගොඩ පෙන්වා කීය. “එයාලා සංවිධානය වෙනවා කංකුන් සේනාව....මුගුණ හමුදාව....පලාධර්ම උරුමය...” ඔහු තවමත් ඉතිරිවී ඇති ශක්තිමත් දත් පෙන්වා සිනාසුණේය.
.........................................................

“පොදු සතුරෙක් ඕන කියන්නේ මහජනයා නොවේ............ඒක තමා දේශපාලනඥයන්ගේ උවමනාව.... ඒ අය හිතනවා වගේ පෙන්නනවා තමන්ලා තමා දුර දිග බලලා තීරණ ගන්නේ. මිනිස්සු හැමදාම අලුත් බොරුවකට රැවටෙනවා.....”
(පිට 102-103)
---------------

ඇත්ත.....අපිට හැම වෙලේම හිටියා සතුරෙක්.....අපේ ඇඟේ තියෙන අර ලේබල් නිසා, ඒ ලේබල් ගොඩට අයිති නොවන අය අපි සතුරන් කරගන්නවා. නොදැනුවත්වම...මම නොදැනුවත්වම කියල කිව්වේ අපිට උඩින හදල පෙන්නන සතුරා එක්ක අපි සටන් වදිනකොට හැමදාම අපේ ඇත්ත සතුරා බේරුණු නිසා. අපි හිතල බලන්න කාලය හරි අපි සටන් වදින්නේ අපේ ‘ඇත්ත සතුරා’ එක්කද කියල.
මට අවුරුදු 15 ක් විතර වෙනකම් අපි ජීවත් වුණේ දෙමටගොඩ. දෙමටගොඩ-මරදාන පාරට අපේ මාවතේ දෙපැත්තම විවෘත වෙලා තිබුණේ. මාවත මුල සහ අග අතර ගෙවල් 25ක් විතර තිබුණා. කන්ද පල්ලෙහායින් පටන් ගන්න පාර කන්ද උඩින් අවසන් වෙන්නේ ආයෙමත් දෙමටගොඩ-මරදාන පාරටමයි. අපේ වම් පැත්තේ ගෙදර සෙල්වරාජ් අන්කල්, චන්ද්‍ර ඇන්ටි, ජෙයා දොරේ, රාණි හිටියේ. අපේ දකුණු පැත්තේ ගෙදර මජීඩ් අංකල්, ඇන්ටි සහ අස්ලාම් හිටියේ. ඔය වගේ මුළු පාරේම ජාති තුනේම අය ජිවත් වුණා. සෙල්වරාජ් අංකල් මට කිව්වේ ‘කලූ’ කියල. ආයේ මට එහෙම කිව්වේ පන්සලේ ලොකු හාමුදුරුවෝ විමලතිස්ස හාමුදුරුවෝ. මම අදටත් හොඳටම ආදරය කරන මගේ ළමා කාලය. මටයි අක්කටයි නංගිටයි යාළුවො වුනේ, නන්දන, බබා, දොරේ, ජෙයා, තාරික්, අස්ලාම්, සලාම් අය්ය, අක්රම් අය්ය, අක්රම් අය්යාගේ මල්ලි. අපි පාරේ ‘සම්බෝල’ ගැහැව්වා. ටින් කැඩුව. නැටුවා....ඒ දවස්වල බ්‍රේක් ඩාන්ස් ලෝකේ ප්‍රචලිත වෙන්න ගත්තම ඉස්සෙල්ලම දර්ශන බ්‍රේක් ඩාන්ස් ඉගෙනගෙන දවසක් පාරේ හැමෝටම එන්න කියල මහ පාරේ එයා අපිට බ්‍රේක් ඩාන්ස් පෙන්නුවා.

ටී.වී. ආපු කාලේ අපේ ගෙදරට ටීවී එකක් ගෙනාව. ඒ කාලේ වැඩසටහන් යන වේලාව කලින් දැනුම් දෙනවා. ඉතින් ඒ වැඩසටහන් යන වෙලාවට ටීවී එක එළියෙන් තියල පාරේ හැමෝටම ඒක බලන් සැලැස්සුවේ තාත්ත. ඒ වගේම ඒ දවස්වල ආපු ‘ඩේක් පීස්’ලස්සන ලස්සන චිත්‍රපටි හොයාන එන්නේ සලාම් අය්ය, අපි හැමෝම එකතු වෙලා බැලුව. ඔහොම ඉද්දි 83 කලබල ඇතිවුන දවසේ....සෙල්වරාජ් අන්කල්ලව ආරක්ෂා සහිතව ඉන්දියාවේ යන්න කෝවිලට ගිහින් දැම්මේ, ඒ ගොල්ලන්ව එක එක ගෙවල් වල බෙදාගෙන හංගගෙන තියාගත්තේ අපේ පාරේ හිටිය ඔක්කොම මිනිස්සු. මට මතකයි අපේ ගෙදර පිටිපස්සේ දොර කඩන්න උත්සහ කළා පිටින් ආපු කට්ටියක්. එතකොටත් අපේ ගෙ ඇතුලේ සෙල්වාරාජ් අංකල් ලගේ ගෙදර කට්ටියක් හිටියා. මේ මිනිස්සු ඇඳ යට හිටියේ. අර දොර කඩන්න හදනකොට ඒ මිනිස්සු දාඩිය දාල මරණ බයේ ගැහුණු හරි මගේ ජිවිත කාලෙටම කවදාවත් අමතක කරන්න බැහැ මටනම්.

මිනිස්සු බේරුවත් දේපළ බේරගන්න බැරිවුණා අපේ තාත්තලට මජීඩ් අංකල්ලට මොකද සංවිධානය වෙච්ච අපේ පැතිවල දැකලවත් හිටපු නැති අය තමයි ඒ දේවල් වලට ආවේ. අපේ පැත්තට තිබුණ ලස්සනම ගෙදර වුනු රාජා අන්ටිලගේ ගෙදරින් නැගපු ගින්දර......මට මේ දැනුත් ඒ ගෙදර ගිනි ගන්නවා වගේ.....ඒ ගොල්ලෝ ඉන්දියාවට ගියා.... ඉතින් මේ ජාතියක් ආගමක් නැති මනුස්සකම් ඉස්සරහට දාගත්තු මිනිස්සු එක්ක ගෙවපු ඒ පුංචි කාලෙට මම හරිම ආදරෙයි....කෑදරයි. එහෙම මට.... මේ පොත මැණිකක්.

ඉතින් ලියනවනම් ලියන්න දේ බොහෝයි. නමුත් ඔබට මේ ලියවිල්ල නීරස කරන්නේ නැතුව මෙතනින් නවතින්න හිතුව මම. මට ඕන වුණේ විපුල ලියනවා වගේ මගේ ලියවිල්ලත් අයිස්ක්‍රීම් වලින් හදපු පිහියක්... (පිට 79) කරන්න. නමුත් මෙය වඩාත් දියාරු වෙන්නත් පුළුවන් ඔබට.

නමුත් මට අවශ්‍ය වුණේ, අපේ ඉතිහාසය නම් චාරුලේඛය මේ රටේ ඉපදුණ මෙරටේ ජීවත්වුණ සිංහල තමිල් මුස්ලිම් මනුස්සයන්ගේ විවිධ අකෂරයන්ගෙන් පින්තාරු වලින් කැටයම් වෙලා තියෙන්නේ, ඒ චාරුලේඛයේ අයිතිය කාගේද කවුද වැඩිපුර දායකත්වය සැපයුවේ කියල හොයන්න යාම ම අපිට ඉස්සරහට, අපේ අතින් නිමවෙන්නට නියමිත කලාත්මක චාරුලේඛයක් නිර්මාණය කරගැනීමට තියෙන අවකාශය අහුරන එකයි කියල ඔබට සුළුවෙන් හරි කියා සිටින්න නිශ්ශංක විජේමාන්නයන් දරා ඇති උත්සාහයට රුකුලක් වෙන්නයි.
ඉතිං.....නිශ්ශංක විජේමාන්නයන් අකුරු අමුණමින් කළ චාරුලේඛය මම දුටුවෙමිය. ...ඔබත් එය දකිනු ඇතියි මම මහත්සේ බලාපොරොත්තු වෙමි. ඔබට මගේ ආරාධනයත් එය ඔබේම චාරුලේඛය කරගෙන දකින ලෙසටයි...... අර විපුල ආපහු ඇවිත් අඳින්න හදපු චිත්‍රෙ අඳින්න විතරක් නෙමෙයි ..... චක්‍ර, පත්‍ර, අඩසඳ, තරු, ඩෙල්ටා, ත්‍රීශුල, බෝපත්‍ර, ඊතල, ලිංග රූප, කුරුස හැම දෙයක්ම අතරින් පියාඹන්නයි...... එන්න අපි පියාඹමු.....!

‘උඩ බැලුවම අහස දැවෙන
බිම බැලුවම වැව්ත් හිඳෙන
රකුසෙක් ඇවිදින් යාළු
රකුසෙක් ඇවිදින්
මුහුදු හතින් එහා රටින්
නැව් නැගිලා මුහුදු උඩින්
රකුසෙක් ඇවිදින් යාළු
රකුසෙක් ඇවිදින්
අන්න ඌව පරද්දන්න එන්නකෝ යාළු
එකතුවෙලා යමු සටනට එන්නකෝ යාළු’
(පිට 73)

(මෙහි යොදාගෙන තිබෙන ඡායාරූපැ දෙකින් එකක් මඩකලපුවේ ඇති එකම සිංහල ස්කොලයේ බිත්තියක තිබී හමුවූ අතර අනෙක කාත්තන්කුඩි උරුම කෞතුකාගාරයේ ‘මා රැක්ක ලේ’ කතාව විස්තරයට නගා ඇති ආකාරයයි. පින්තුර දෙකම මාවිසින් ගනු ලැබිය)