Wednesday, April 20, 2016

නිසඳැසින් කතාවක්



ගොතන්නට කතාවක්......සිතුණා තවත් විදියක්
මිතුරු මිතුරියනේ.....මා සිත් ගත්
කියවා කියයි නම් මෙහි ගුණදොස්.....තුටින් පිළිගමි හිසනමා මම්.

මතකයි අද වගේ.....ඒ මුල් හමු වීම
ලැජ්ජයි සිතන්නට....මා හැසිරුණු විදිය
ජිවිතේ වසත් සම.....එක්තර දහවලක
හමුවුණි කඩපලක.....නගරේ මැද තිබුණ.

මම උඩ තට්ටුවේ සිටියේ......ඔහු පහලයි එවිට
ඔහු දුටු විට එදින.....සිතුණා හමුනොවි....යන්නට නොකියාම.

ගත්තා ඇමතුමක් .....මගේ හොඳම යෙහෙළියට,
කොහොමද හලෝ......ඔහුගේ හැඩරුව යැයි......ඇය ඇසු කලට
කළුයි, උසයි, කෙට්ටුයි......මම පැවසුවේ ඇයට.
ඉන්නේ නැමීලා දෙකට.....සීයා කෙනෙක් වාගෙයි.....ඔහු පෙනෙන්නේ මෙමට
යන්නයි මං හදන්නේ....ඔහු මුණ නොගැසීම....යෙහෙළියෙ උඹට කීවේ මම දන්වන්ට.

ෂාරුඛ් ඛාන් එනවා කියලද හිතුවේ.....කාජල් වගෙයි උඹ කියා...කවුදැයි කීවේ ...
මෙතරම් දුරක් ඇවිදින්......ආපසු හැරෙන් එපා
අනේ කෙල්ලේ....මං වෙනුවෙන්......මුණ ගැහෙන් එයා
උඹ දන්නවනේ උගේ ගතිගුණ.....හරිම හොඳා.....රැකියාවත් ඉහලම....තනතුරකි මෙදා.

වයසින් වැඩිමහල් අවුරුදු දෙක නේද.....සීයා කෙනෙක් ලෙසකට.....පෙනෙනුයේ කෝම
කළු පිරිමින්ට.....උඹ කැමතියි නේද.....ඉතිං හදිසියේ......මේ අකැමැත්තක් කිමද?
මටනම් පෙනෙන්නේ....ඔහු හරි හැඩ බවය.....උඹට ඇති ලෙඩේ උඹේ ලැජ්ජා බයය   
ගනින් සවිය.....මැඩ්ලින් ගහනා පයට.....පල්ලම් බැස යමන් ඔහු ඉන්නා තැනට

මට අද අහන්නට....ඕනා වෙන කතාවක්
උඹ හැමදාම කියනා ස්ටෝරිය....මුලාවක්
ඉතිං මිතුරියේ ලියපන්.....වෙන කතාවක්
ඉන්නවා බලන් අසනට.....රස ගුලාවක්.

හොඳයි කියා ඇමතුම තැබූමෙන් පසුව......බැලුවා නැවත ඔහු ඉන්නා ඉසව්ව
සිටගෙන හිටිය වටපිට.....බලමින් යසට.
වෙනදේ වුනාදෙන්.....යයි හිත හදාගෙන
ගත්තා ඇමතුමක් ......ඒ දුරකථනයට.....‘හලෝ’ කියා ඔහු එය ඇමතුවෙ විගස.
මං ඉන්නේ උඩ තට්ටුවේ පේනවද? මම ඔතනට එන්න ද ඔයා මෙතැනට එනවාද?

සැනින් ඔහුගෙ.......නෙත් යොමුවිය....ඉහල මාලයට....ඔහොම ඉන්න මම එන්නම් ඔහෙට
තවමත් කනෙයි දුරකථනය....ඔහු ඇදුනා උඩට.

මුහුණට මුහුණ හමුවුනෙ.....ඔහොමයි අප දෙදෙන
මතකෙට එනවිටත්....සිනහා එයි මුවට.

සමාවෙන්න....අපි කතිකාකර ගත් ලෙසට
වැඩි වේලාවක්....රැඳෙනට  බැහැ...මට අද මෙතැන
දකින්නට.....නුඹව තිබුණ මහ ආසාව.....නිසයි අද ආවේ වැඩ තිබුනත් උසට

හරි ඒ පාරනම් මෙයාටම මා එපා වි ඇත
එනිසයි කියන්නේ....හිඳින්නට බැරිබව
මං එහෙම හිතලා   
අපෝ කිසි ප්‍රශ්නයක්....නැහැ මේ මටනම්
අපි වෙන දවසක....හමුවෙමුකො එහෙනම්
මටත් වැඩ නම් එමටයි.....මමත් ආවේ....ඔබව දැකගනු පිණිසයි

ඔයාට මේ පිස්සුද?....මං කිව්වේ...දැන් යාමට අවැසි බවද?
අපි දා ගත්තේ...හවස් වරුවම....කතා කෙරුමට නේද?
එච්චර ඉන්න බැහැ මට අද.....හදිසි වැඩ බෝම.

පවසා මේ ටික....
ඉතිං මට බඩගිනියි......කොහෙද අපි කන්නේ?.....කොහාටද යන්නේ?  
යන්කො එහෙනම් පහළට....වාහනේ ඇති තැනට
යන ගමන් .....කරමු අපි කතා.....ඇතිතරම්

වාහනේ යාරිස්ය....ඔහු මෙන්ම එය කලුය
ඇතුල හොඳ පිරිසිදුය....එයින් කියවෙන්නේ....ඔහුගේ ගැනය
පොත් ගොඩකි මුදල් ගැන....තව තැනක ටයි පටියක්ය
පිටුපස මුළු ආසනයෙම....විවිධ දේවල් මහා ගොඩක් විය. 

වාහනය ඉදිරියට ඇදුණේ....
ඔහු කඩවසම් බවකුත් පෙනුණේ....නිවුණු කතා ස්වරයක් තිබුණේ
මහා දැන උගතෙක් විලස දැනුණේ

චීන අවන්හලක් ඉදිරිපිට.....වාහනය නැවතුන කලට
ඔයාගෙන් අහන් නැතුවම.....කෑම කන තැන තීරණය කලේ මම
කමක් නැහැ නේද....ඇසුවා ඔහු තීව්ර හඬ මුසුකර

මදකට පෙර දුටුව....දෙකට නැමුණු...සීයා වෙනුවට
කඩවසම් බව පිරුණ....තරුණයෙක් දුටුවෙමි....මම එවිට

මෙය කියවන ඔබට....ප්‍රශ්නයක් නොනැග්ගොත්....එය පුදුමය
නොදැක සිටියානම් ඔහුව....
හමුවීමට දිනයක් යෙදුනේ කෙලෙස?
ඔහු හඳුනන්නේ කොහොම?
ඔවැනි පැන රාශියක්....ඔබේ මනසේ....ඇතිය මේ දැන්

එක් දිනක්....
මිතුරියකගේ විවාහ මංගල්‍යයකදී....
ගත් පිංතුරයක මම.....උන්නේ හරි හැඩට
එය දුටු ඔහු...මේ කවුදැයි....විමසූ කලට
මාගේ මිතුරා....විස්තර කීවේ....මාගැන ඔහුට

එදිනම හවස.....
මට මේ විස්තරය කී....මිතුරු තෙම
උඹට කතා කෙරුමට ඕන යැයි කියනවා.....
හඳුනා ගැනීමට කැමතියි අහනවා.....උඹේ විස්තරත්  හොයනවා  

මටනම් මෙය පුදුමයක් දැනගන්.....ඔහු තදයෙකි හෙන උගත්
මෙතෙක් කෙල්ලෙක් දෙස ඔහු....ඇහැක් ඇර නැත...උපාසකයෙක් වන්
උඹේ දුරකථන අංකය...දෙන්නද ඔහුට....කියා විමසූ කලට
හරියට බය වුනෙ මම.
අපොයි මේ මොන වදයක්ද.....අඳුනන්නේ නැති අයට
අංකය දෙන්නේ කුමට?
ඕනෑම නම් ඔහුට....දෙන්න මගේ....විද්‍යුත් ලිපිනය

පහුවෙනිදම උදයේ....තිබුණා පණිවුඩයක්..... ඔහුගෙනුත්.

හලෝ කොහොමද?.....මේකයි මගේ නම ගම
ගියේ මේ පාසැලට.....රැකියාව කරන්නේ මෙතැන
මගේ පවුල මෙහෙමයි....සියල්ලෝ ඉන්නේ පිටරටයි
අම්මයි මායි විතරයි.....එයත් ළඟදීම ඒ රටට යයි
ඔයාගේ පින්තුරය දුටුවා....මට එහි ලස්සනක් තිබුණා  
ඔයා ගැන විමසුවා....වෙනස් කෙනෙකුන් බව මිතුරා පැවසුවා...

කැමතිනම් හඳුනා ගන්න....මාත් කැමතියි....නුඹගේ විස්තර දැනගන්න
දුරකතනයෙන් කතා කෙරුමට....දෙන්න අංකය....අවසර සමඟම
කැමතියි හමුවන්න....හැකිනම් එයටත් ඉඩදෙන්න.

මේ මොන මරාලයක්....කඩන් වැටුනද මෙමට දැන්
ගැලවෙන්නේ කෙලෙස දැයි.... සිතන්නට වීය මම්.

ගත්තා ඇමතුමක්.....හොඳම මිතුරියට....මගේ දුක සැප දත්
පැවසූ විස්තරය...අකුරක් නෑර ඇය අසා දැනගත්.

හපොයි කෙල්ලේ.....උඹේ හොඳ කාලය
එන්නේ මේ දැන්...වැඩ පැත්තට දාපන්
උත්තරයක් ඔහු වෙත ලියපන්.

පිස්සුද උඹට?..... නැගිට්ටේ කොයි පැත්තෙන්ද අද
එහෙම මට එව්වාට.....මම යවන සිරිතක් තියෙනවාද
උඹට බැරිනම් යවන්නම් මම්....පොඩ්ඩක් හිටපන් ඔතෙනට එනකන්
පළමුවට ඔහුට යැව් පිළිතුර.....යැව්වේ අප දෙදෙනා එකතුව යසට

එදා සිට..... දවසට පහ හයක්..... හුවමාරු විය විද්‍යුත් පණිවුඩ..... අප අතර

ඔහොම කාලය ගෙවුණා....මාස තුන හතරක් ගත වුණා
අපි හමුවෙමුද?.....දවසක්....ඔහු විමසුවා

හමුවෙන්න.....හමුවෙන්න
ලැබුණි ....උපදෙස්.....කාර්යාලයේ සැමගෙන

එලෙස තීරණය වුනු.....අපේ හමුවයි
ඔබට පෙර....විස්තරෙ කලෙ මම

නැවත වත්මනට එමු....දැන් අපි සැවොම

හමුවීම පළමු .....ඉතා කෙටි විය...එදින
නමුදු ඒ හමුවීම....අවසානයක් නොවී
ආරම්භයක්....විය අප දෙදෙනාට.

දින....සති....මාස....ගතවී
හොඳ යහළුවන් බවට පත්වී....අපට අප නැතිව බැරිවී
ගෙවුනේ ඔහොමයි....කළ දවස....දෙදෙනාගේ...තුටුවී.

ඔහු ඉහල නිලයක් දරුවා....අධික වැඩ සහිත වුවා
මාව අමතක නොවුවා....සතියකට වරක්වත්....ඔහු මා දකින්නට ආවා
පැමිණ ඒ වෙලාවට.....රැගෙන ගෙන ගොස්....අවන්හලකට
දොඩමලු වි දෙදෙන.....ගතකළ පැය ගණන්....හරිම හරි මනරම්

සති අන්තේ සවසකට.....ගොසින් මුහුදු වෙරළකට
තුරුල් වි....ඉර බසිනවා.....බලන් ඉන්නට
ප්‍රිය කළා අප දෙදෙන හැකි සැමවිටම

ආදරෙයි කිව්වේ නෑ......ආදරෙයි ලිව්වේ නෑ
ආදරේ සැමරුවෙත් නෑ...ඒත් අපේ ආදරේ.....කිසිත් අඩු වුනෙත් නෑ

දිනක් එක් සවසක....රඟහලකට ගොස් නිවසට යන අතර
මුල්ම හාදුව ලැබුනේ.....නොසිතු මොහොතක
ගතම දියවී ගියා....සිත ස්වර්ගෙට ගියා
සිහිය එලවා ගන්න නොහැකිව.....මාව අතරමං....වී ගියා.

තව තත්පර ගණනක් ගිය තැන..... පුංචි මුදුවක් එලියට පැමිණුන
මොන මොනවද කියමින .....ඔහු දොඩමලු වුනේ එම දින.

මම කියන්නේ...නුඹ හට ඇති.....මගේ ආදරය
කරන්නේ යෝජනා.....මා විවාහ කරගැනුමට 
මට මේ ලෝකයේ....නැතේ වෙන කිසිවෙක්....නුඹ සේ සිත්ගත්
උඹේ ඔය කතාවට.....අවංක වුනු හිනාවට.....
ආදරේ පිරුණු ඇස් ගෙඩි දෙකට.....සේද සේ සිනිඳු කොණ්ඩෙට
ලස්සන හදවතට ....ආදරේ කලේ මං.....දුටුව මුල් දිනේ සිට
තවත් මා නොපෙලන්....කැමතිදැයි මට කියපන්
මා සමඟ....එනවානම්....බලා ගන්නම්....සසර සැරි සරනකල්.

බය වෙන්නට දෙයක් නැහැ.....නුඹ දන්නවා මගෙ සිතුවිලි පටු නැහැ
නිදහසට නුඹේ වැට කඩොලු නැහැ....
සහකරුවෙක් මිස නුඹට.....ගෘහ මුලිකයෙක් වෙන්න මගේ හිතක් නැහැ.

ඔහු කියවන් යන්නේ.....මං පාවෙන බවයි මට දැනුණේ
මොනවද මම දැන් කියන්නේ .....බලන් නොඉඳපු දෙයකි වෙන්නේ.

මම මෙහෙම කියවන්නේ....නුඹ නිකන් බලන්මද ඉන්නේ
ප්‍රතිචාර දක්වන්න.....සිතක් නැතිවද එන්නේ?
මේ මුදුව පළඳින්න....කැමති නැතුවද ඉන්නේ

මට සිහිය එළවුනා.....කතාකල යුතු බව තේරුණා
කැමතියිද.....අකමැතිද....සිතා ගන්නට බැරිවුණා.

මේක මට පුදුමයක්.....සැබෑ විය නොහැකි සිහිනයක්

අනාගතේ දවසක....අප දෙදෙනාට....කතා කෙරුමට තිබුණත්
මෙය මෙතරම් ඉක්මනින් .....බලාපොරොත්තු නොවුනෙම්

ඔබ දෙන ආදරය....ඔබ තබන විශ්වාසය....ඔබගේ මිතුරුකම....
සදාකාලික කරගැනුමට.....තිබෙනවානම් මට....තවත් වෙන මොනවද
කැමැත්තක් මිසක වෙන....අකැමැත්තක් ඇතැයි....සිතන්නේ ඔබ කෝම

මේ මුදුව පළඳගෙන.....ලොව පුරා ඇවිදින්න.....
ජිවිතේ ජය ගන්න....මැරෙනකම් ළඟ ඉන්න
අපි අපේ කරගන්න.....මෙන්න දෑතම ගන්න.....ඔය මුදුව පළඳන්න

එය ඇසු සැනකින....මගේ දෑත් සිපගෙන
මුදුව මට පළඳන විට......දිලිසුන ඔබේ දෑස් දැක  
ඇයි මේ කඳුළු දිලිසෙන්නේ.....මගෙන් මොනවද වුයේ

මතකයි අද වාගේ....ඔබ දුටුව මුල් දිනය
මට මගේ ජීවිතය..... ලැබුණු බව දැනුණු..... ඒ දිනය
කුඩාකල පටන්....තනිවම ගෙවූ ජීවිතය
මුදල් විතරක් සොයපු .....වැඩම විතරක් කරපු
ජීවිතය නිමාවක් වේවියයි.....කිසිවිටෙක සිතුණේ නැත.

මින්පසුව අප දෙදෙන....එක්ව පියවර තබන
සංසාර ගමනෙක ඇරඹුමයි මේ මොහොත .....

ඉතිං මගේ සබැඳියන්ට
තුතියි මෙය කියෙව්වට
කවියක්ම නොවුණි මෙය
අපේ පෙම් පුරාණය.....!