Wednesday, September 30, 2015

දෘ.............



මොනවද හොයන්නේ අහස දිහා බලාගෙන?

මම හොයන්නේ එයාව .....
කවුද?
එයා...

ඔයාගේ මහත්තය නැති වුනාද?
නැහැ.
මට කවදාවත් මහත්තයෙක් හිටියේ නැහැ...
එහෙනම් හොයන්නේ...?

එයාත් ඇති මේ තරු අතර....
ලස්සනට දිලිසි දිලිසි ....
මගෙත් එක්ක තරහ වෙලත් ඇති...

ඔයාට අසනීපයක්ද?
මොනවද ඔය කියවන්නේ....?

මං හැමදාම හීන දැක්ක
එයාව මං ලඟට ගෙන්න ගන්න
ඒත් ....මට ඒකට ඉඩක් ලැබුණේ නැහැ
කවුරුත් මාව තේරුම් ගත්තේ නැහැ...
කාටවත් මාව ඕන වුනේ නැහැ...
ඉතින් එයාට එන්න පුළුවන් වුනෙත් නැහැ....

මට කියන්න කවුරු ගැනද කියන්නේ...?

අද කවදත් නැතුව එයාව මතක් වෙනවා....
අනේ එයා හිටියනම් .....
මට මෙහෙම තනියක් නැහැ....

මේක මහා පිස්සුවක්, මම යනවා යන්න....
කියන්නේ නැතිද? කාවද හොයන්නේ...අනික අහසේ?
එයා ........ ‘දෘ’....මගෙ පුතා....  

නොනිමෙන මතකයක් I



පොත් වසත් සමය, මාත් ගියා ඉතිං පොතක් දෙකක් අරගන්න. ඒත් දුටුව කෙනෙක් නිසා නොනිමෙන මතකයක් අලුත් වුණා. ඉතිං හිතුවා එකත් ලියල බෙදා හදා ගමු කියල. ඔන්න මට ඉස්සර, ඒ කියන්නේ මගේ යව්වන වියේදී තිබුණා ආසාවක් නිවේදකයෙක් වෙන්න. ඔය පෞද්ගලික රේඩියෝ නාලිකා පටන් ගත්තේ අපි පාසලෙන් අයින් වුන ම වගේ කාලෙ. ඉතිං දන්නා කියන තුන් හතර දෙනෙක් මේ නාලිකා වලට නිවේදකයන් හැටියට එකතු වෙලා තිබුණා. මට ත් ඉතිං පුදුම ආසාවක් තිබ්බේ, මම බැලුවා ඉතිං මේ ආසාව ඉෂ්ඨ කරගන්න පුලුවන්ද කියල. 

රේඩියෝ නාලිකා කීපයකටම අයදුම් පත්‍ර යැව්වත් වැඩේ හරි ගියේ නැහැ. දැන ගන්න ලැබුණ විදියට මොකක් හරි සම්බන්ධයක් තිබ්බනම් යන්න පුළුවන් වගේ එකක්. කොහොම හරි මගේ එක මස්සිනා කෙනෙක් හොයා ගත්ත ක්‍රමයක්. ඒ අනුව එක fm නාලිකාවක ප්‍රධානියෙක්ව හම්බ වෙන්න යන්න මටත් ලැබුණා අවස්ථාවක්. මම ගියා එයාගේ කාර්යාලයට. එයා මට එන්න කිව්වා එයාගේ කාර්යාලීය කාමරයට.  එයා කිව්වා මම නම් මේකට ඉන්ටර්විව් කරන්නේ නැහැ සිංහල අංශෙ භාරදීලා තියෙනවා කෙනෙක්ට, එයාට මම එන්න කියන්නම් කියල මේ සිංහල අංශය භාරදීලා තියෙන කෙනාව ගෙන්නුවා. ගෙන්නලා කිව්වා මම අඳුනන කෙනෙක්ගේ දරුවෙක් පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සේ අපි දෙන්නම එලියට ආවා. මේ සිංහල අංශ ප්‍රධානියා මට කිව්වා ඔයා පොඩ්ඩක් ඉන්න මම ඔයාට කතා කරන්නම් කියල. 

ඒ උදේ. මමත් ඉතිං ඉන්නවා. මම කීප සැරයක්ම පිළිගැනීමේ නිලධාරිනියට මතක් කළා ......
මිස් අර අහවලා මට මෙහෙම ඉන්න කිව්වා....අමතක වෙලාද දන්නේ නැහැ....
එයා ගන්නවා කෝල් එකක්......පොඩ්ඩක් ඉන්නලු. කතා කරන්නම්ලු....

මමත් ඉන්නවා. ඔය වගේ තුන් හතර සැරයක් වුණා. ඔහොම බලන් ඉඳල ඉඳල හවස් වුණා. 

පිළිගැනීමේ නිලධාරිනිය යන්න ලං වෙලා එයා ආයේ කෝල් එකක් ගත්ත. මට දැන් ඇහෙනවා. 

....අය්යේ මේ ළමය ඉන්නවා උදේ ඉඳල...එයාව ගන්නේ නැද්ද? හා කියන්නම්.....

එයා රිසිවරය තියල මට කියනවා.......අද ගන්න විදියක් නැහැලු ඔයාව. හෙට උදේට පුළුවන් නම් නවය වෙනකොට එන්න කීවා. 

මගෙ ඉවසීමේ සීමාව ඉක්මවල ගිහින් තිබුනත්....මම ඉවසීමෙන් කිව්වා. .....හා එහෙනම් හෙට මම එන්නම් කියල.

කියල ගෙදර ආවා. පහුවෙනිදා උදේ නවය වෙනකොට ගියා මම ආයෙමත්. 

පිළිගැනීමේ නිලධාරිනිය මාව දැක්ක ගමන් අඳුනගත්ත.....ආ වාඩි වෙන්න මම කියන්නම්. 

ඇය නැවතත් ගත්ත කෝල් එකක්.....අය්යේ ඊයේ අර ආවේ .....ඔයා අද එන්න කිව්වේ.....එයා ඇවිත්....
ඇය රිසිවරය තිබ්බා. ඔයාට කතා කරන්නම්ලු මිස්. 

හරි කියල මමත් ඉන්නවා. ඔය අතරේ ....අර ප්‍රධානියා ඔතනින් යනවා.....පුතා ඔයා මොකද අදත් ....?
මගේ ඉන්ටර් විව් එක ඊයේ තිබ්බේ නැහැ. අද එන්න කිව්වා. 

එහෙමද හරි මම බලන්නම්.......

ඒ උදේ 10.30 ට විතර. එකොළහට විතර මට පණිවුඩයක් ලැබෙනවා එන්න කියල. 

මම ඇතුලට යනවා. සිංහල අංශෙ කියන්නේ එක කාමරයක්. ඔක්කොමල වට වෙලා ඉන්නවා ඉතිං. අංශ ප්‍රධානියාත් පැත්තක තියෙන තනි මේසෙක වැඩ. ඔහු කඩවසම්. තරුණයි. ඒ කාලෙ මගේ හිත ගත් නිවේදකයෙක්. මම හිතුව මගේ වැඩේ හරි මොකද මොහු කොතරම් හොඳ මනුස්සයෙක්ද රේඩියෝ එකේ කතා කරන විදියෙන් තේරෙනවනේ ඉතිං. 

තව පැය භාගෙකින් විතර ඔහු සහ තවත් නිවේදකයෝ දෙන්නෙක් මාව ස්ටුඩියෝ එක ඇතුලට අරන් ගියා. දැන් ඔවුන් එක පැත්තක. මම එක පැත්තක. අර කනට ලොකු හෙඩ්ෆෝන්ස් දාල මයික් එකෙන් මම ඔවුන් අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා. 

තුන් දෙනා විවිධ ප්‍රශ්න මගෙන් ඇහැව්වා....ගීත ගැන සිංහල ගීත, හින්දි ගීත, කැමතිම සිංදු...කැමති පොත්, ඒ පොත්වලින් කොටස්....ඔය වගේ විවිධ දේවල් පැය භාගයක් හෝ විනාඩි පහළොවක් විතර මගෙත් එක්ක කතා කළා. 

වරක් මට ඇහුණා එක නිවේදකයෙක් කියනවා ‘නියමයි ආ’ කියල. මගේ බලාපොරොත්තු දැල් වුණා. මම හිතුව වැඩේ හරි කියල. 

ඔන්න ඉවරවෙලා එලියට ආවා කියමුකෝ. දැන් අර ප්‍රධානියා මුකුත් කියන්නේ නැහැ. මමත් දැන් බලන් ඉන්නවා. දැන් මෙයා යමක් කිව යුතුමයි. අනික් දෙන්න නම් සිනා මුසු මුහුණින් ඉන්නවා. 

ප්‍රධානියා කට ඇරියා.....ඔයාගේ කටහඬේ හරියට සෙම තියෙනවනේ.......

මගේ කට නිකන්ම ඇරෙන්න ඇති....මොකද ඇහැව්වමයි මෙහෙම කට හඬේ සෙම තියෙනවා කියල දෙයක් තියෙනවා කියල ..... අපි ඔයාට දන්වන්නම් හොඳේ......

දැන් වෙද්දී ‘දන්වන්නම්’ එකේ අර්ථය දැනගෙන හිටියත් ඒ කාලෙ මම හිතාගෙන හිටියේ ඇත්තටම ඔවුන් මට දන්වයි කියල. නමුත් ඒ දැන්වීම කවදාවත් ආවේ නැහැ. මම පස්සෙන් ගියෙත් නැහැ. මට බලාගෙන ඉන්න වුනෙත් නැහැ. මම වැඩ කර කර හිටපු තැනින් අස්වෙලා වෙනතැනකට යන්න දාල තිබ්බේ එකම ඇප්ලිකේෂන් එකයි ඒ වෙද්දී. ඔන්න ඒකෙන් කතා කරලා ඉන්ටර්විව් ගිහිල්ල ඒකට තේරුණා. ඉතිං මට එහෙමම නිවේදිකාවක වන ආසාව අමතක වුණා. 

කොහොම හරි ඔය අංශ ප්‍රධානියා....පසුව වෙන වෙන ආයතනවලටත් ගියා....පොතුත් ලිව්වා...ඒත් එයාගේ එක පොතක්වත් මම ගත්තේවත් බැලුවේවත් නැහැ. එයාගේ කිසිම වැඩසටහනක් මම එදායින් පස්සේ ඇහැව්වෙවත් බැලුවේවත් නැහැ. මගේ හිත රිදුණ තරම තමයි. ඒත් මම හදිසියේම එයාව නැවත දැක්ක ගිය සිකුරාදා පොත් ප්‍රදර්ශනයේදී.....

මොන පිස්සුවටද තරහ මරහ මතක තියාගෙන ඉන්නේ මම. මොකද මේ මනුස්සයට මාව මත ඇතිය? මේ වගේ එයා කලේ මටම විතරයිනම් ඉතිං මතක තියෙයි.....කියල හිතල, මමත් ගත්ත එයාගේ පොතක්....වසර 15 කට පස්සේ......මම මගේ පරණ මතකය අමතක කරලා....එයාගේ පොතත් අරන් ලඟට ගිහින් අත්සනක් දාගන්න පොත දික් කළා....එයා පොත අරන් එයාගේ කඩවසම් සිනාව දාල....මිස්ගේ නම මොකද්ද ඇහැව්වා.....මම නම කිව්වා....එයා අත්සන් කරලා දුන්නා......එච්චරයි.      

Friday, September 25, 2015

යන එන මඟ 2: කොළඹ පොත් ප්‍රදර්ශනය

පොත් ප්‍රදර්ශනයට දවස් තුනක්ම ගිය එකේ ප්‍රීතිය නිමිත්තෙන්....

එතනදී අහන්න, දකින්න, බලන්න හම්බ වෙච්ච විවිධ දර්ශන තිබුණා.....ඉතිං පොඩ්ඩක් කට්ටියත් එක්ක
බෙදාගන්න හිතුවා. චුටි සිද්ධි ටිකක්....

=======================================================
දර්ශන අංක 1. අම්මෙකුයි දුවෙකුයි....අම්ම පොත් කාක්කෙක් බව පෙනුන. මහා ගිජු බවින් යුතුව හැම පොතම බලන බවක් පෙනුණා.

පොඩි දුවෙක්. එපා වෙච්ච මුණක්.

අම්මගේ අතේ පොත් ගොඩයි. දුවගේ අතේ පොත් කීපයයි. මේ දෙන්න අතරේ ඇති වෙච්ච දෙබසක්;

Girl: Oh amma…it’s eough now.
Mother: Ok darling I’m finished. I’m finshed.
Girl: (with very happy face) Really? So we can go home now?
Mother: No darling. I mean I’m finshed with this particular stall…..
Girl: Ayyo…

=======================================================
දර්ශන අංක 2. නිල් බලන් හිටිය කෙනෙක් එනකන් D ශාලාවේ කොට බිත්තිය අයිනේ වාඩි වෙලා.

අය්ය කෙනෙකුයි නංගි කෙනෙකුයි ටිකක් ලොකු ස්ටෝල් එකකින් එලියට එනවා. අය්යාගේ අතේ පොත් බෑග් ගොඩයි. නංගි ගේ අත් හෑන්ඩ් බෑග් එකයි පොත් බෑග් කීපයයි. .........

නිල ඉන්න තැනට එහා පැත්තේ තිබුණ ඉඩේ වාඩි වෙන්න ආවා අය්යයි නංගියි.

අය්යාට අමාරුද.....දාඩිය පෙරාගෙන පොත් බෑග් ගොඩ කරගහන් ඉන්න අය්යාගෙන් නංගි අහනවා.

නැහැ දාඩියයි.....අය්ය පරාද වෙන්න කැමති නැහැ වගේ.
අය්ය වාඩි වුණා.

වතුර එකක් තිබුණා නේද? මට ටිකක් දෙන්න .....අය්ය ඉල්ලුවා

නංගි වතුර බෝතලේ හොයනවා. ඉවසන්න බැරිවෙච්ච අය්ය නංගිගේ බෑග් එක අතින් ඇදල ගත්ත. ඔක්කොම පැති ඇරලා බලලා වතුර බෝතලේ හොයා ගත්ත. මෙන්න අය්ය බෑග් එක තුරුල් කරන ඉන්නවා නංගිට දෙන පාටක් නැහැ. නංගිත් ඉල්ලන්නේ නැහැ. නිල් හිතුව අය්ය...නංගි....කිව්වට මේ දෙන්න.....එහෙමම වෙන්න බැහැ වගේ කියල.

අය්ය මමත් මේ ස්ටෝල් එකට ගිහින් එන්නද?

හා ඔය බෑග් ටික මෙතනින් තියල යන්න. නංගිගේ බෑග් ටිකත් දැන් අය්ය ළඟ. ......ම්ම් අය්ය ට්‍රයි වගේ නංගිට....ඔන්න ඔහොමයි නිල්ට හිතුනේ...

අය්ය දැන් බලාගෙනම ඉන්නවා ස්ටෝල් එකේ ඉන්න නංගි දිහා. වැඩේ හරි. නිල් හිතුව හරි.

ටිකක් වෙලාවකින් නංගි එලියට එනවා.....අපෝ මට බැහැ අය්යා.....
ඒකනේ කිව්වේ. මෙතනින් වාඩි වෙලා ඉමු.

දැන් දෙන්න කතා කර කර ඉන්නවා. ඔහොමත් ඕපාදුප හොයන්න බැහැනේ. නිල්ට ඇහුනේ නැහැ ඒ කතා කරපුව.

ටිකක් වෙලාවකින් තවත් තරුණියක් එනවා අර ස්ටෝල් එකෙන් එලියට.....පොත් ගොඩාක් බදාගෙන. .....

හපොයි ....අය්යයි නංගියි කිව්වේ එකපාරට....

අර තරුණිය තරුණයා ලඟට ඇවිත්.....ඔයාට මහන්සිද සුදු.....තව ටිකක් ගන්න තියෙනවා එච්චරයි.

අතේ තිබ්බ පොත් බෑග් ටික තරුණයාගේ අතට.......තරුණයාගේ අතේ තිබ්බ හෑන්ඩ් බෑග් එක තරුණියගේ කරට.......

ආ ආ ....තේරුනේ දැන් තමයි.....

=======================================================
දර්ශන අංක 3. එක්තරා පොත් කුටියක් අසළ හම්බ වෙන අච්චාරු කාරයෙකුයි සුරංගනාවියෙකුයි ..........කතා බහක.

සුරංගනාවී එයාගේ යහළුවන්ට අඳුන්වල දෙනවා අච්චාරු කාරයව...ඔහොම ටික වෙලාවක් කට්ටිය කතා කර කර ඉන්නවා.....දැන් එහෙනම් මම යන්නම්....අච්චාරු කාරය කියනවා....

හා හොඳයි.....එහෙනම් ගිහින් එන්නකෝ......

හදිසියේම අච්චාරු කාරය බෑග් එක අරිනවා.....පොඩි ෂොපින් උරයක් එලියට අරන් දෙනවා සුරංගනාවීට.......හැමෝම කුතු හලෙන් ඒක බලාගෙන ඉන්නවා......

ගල්සියඹලා!

=======================================================
දර්ශන අංක 4. තවත් අම්මෙකුයි දුවෙකුයි.....දුවගේ අතේ පොත් ගොඩායි.....අම්මගේ අතේ පර්ස් එක විතරයි.....

දුවගේ අතේ පොතක්......පසු කවරය කියවනවා......ඔඩිසි

පුතේ මොකද්ද ඔඩිසි කියන්නේ......

දන්නේ නැහැ අම්මේ.....

ඉතිං ඔයා මේක ගන්න යන්නේ?

දන්නේ නැති නිසානේ අම්මේ....දැන ගන්න....

ඉතිං ඔයා ගත්ත අනික් පොත්වල ඒවා ඔයා දැනන් හිටියනේ....

මේක ගන්නේ නැතුව ඉන්න කියලද අම්ම කියන්නේ.....

අනේ මං එහෙම කිව්වේ නැහැනේ .....

අම්මල....පුදුම අම්මල....ඒ මුහුණේ එවලේ තිබ්බ පෙනුමට නිල්ටත් ඒ අම්මට ආදරේ හිතුණා.

නිල් ට මතක් වුණා......

පැටියෝ ....
නුඹ දුවක වුනත් නුඹ පුතෙකු වුනත්
මා නුඹට පුදන්නේ
සැබෑව උතුරන ජීවිතයයි......!!

=======================================================
දර්ශන අංක 5. සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ කුටිය......ගිය අය දකින්න ඇතිනේ ‘කන්දක් සේමා’ ච්ත්‍රපටියේ ට්‍රේලර් එකක් යනවා කුටියේ පැත්තක......

ඇයගේ රසිකාවියක්...ඒ කුටියේ තිබුණ පොත්වලින් විශාල ප්‍රමාණයක් ඇගේ අතෙත් තිබුණා....රාහුබද්ධ මහත්මිය ඒ පොත් වලට ඇගේ අත්සන තබන අතර.....රසිකාවිය දෙස් දෙවොල් තබමින්.....

රසිකාවිය: මේ නිර්මාණේ මේ නිළිය ඉන්නේ කියල මම දන්නේ නැහැනේ ....එයා කොහොමද නුපව හරියට කරන්නේ....

සු. රා.: නැහැ ඇය හොඳට රඟපානවා ච්ත්‍රපටියේ....චරිතෙට හොඳටම සාධාරණයක් ඉටු කළා....

රසිකාවිය: මටනම් විශ්වාස කරන්න අමාරුයි....මම කොහෙත්ම හිතන්නේ නැහැ එහෙම වෙන්න ඇති කියල

සු. රා.: නැහැ ඒක එහෙම වුණා....අධ්‍යක්‍ෂක තුමාත් මුලින් කැමති වුණේ නැහැ.

රසිකාවිය: මගේ කැමතිම පොත ‘කන්දක් සේමා’ නුපා ගේ චරිතේ සමහර තැන්වල මම මාව දකිනවා. ඒකට අසාධාරණයක් වෙනවට මම කැමති නැහැ.

සු. රා.: මාව විශ්වාස කරන්නකෝ. ඔය හැම ච්ත්‍රපට රාමුවක් පටිගත කරද්දීම මම හිටිය. මමත් කැමති නැහැනේ පොතට අසාධාරණයක් වෙනවට. අනික පොතක් පැය දෙකක - දෙකාහමාරක චිත්‍රපටියකට ගන්න එක ලේසි නැහැනේ. මම හිතනවා අපි ඒක හරියට කළා කියල.....

ඔවුන් අතරේ තවත් දෙබස් හුවමාරු වුණා...... ඕක බලන් හිටපු නිල්ට සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වුණා. තමන්ගේ පාඨකයෙක්ව තෘප්තිමත් කරන්න ඇය දරන උත්සාහය......අගය කළ යුතුමයි!

=======================================================
දර්ශන පහක් ඇති කියල හිතෙනවා. නැත්නම් මේක කියවන්න එපාවෙයි.

සුළං කපොල්ලේ





සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ //

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ


ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ //


ගායනය - නන්දා මාලිනී
සංගීතය - රෝහණ වීරසිංහ
පද - සුනිල් ආරියරත්න
මෙම වීඩියෝව රූප රචනය: නිල් ගුණවර්ධන

කවියෙක්ට කවියක් වෙන්න ඇත්නම්!


මම කවියෙක්
ලියන
ආදරය, විරහව, සුළඟ, ඉර, හඳ...
ඔය හැම දෙයක් ගැනම

ඒත් ....

මට ඕන වෙන්න
කවියෙක්
මහපොළව ගැන ...
මිනිස්සු ගැන ...
අපේ දුක ගැන...
ලියන

නැහැ එහෙමත් නොවෙයි

මට ඕන වෙන්න
කවියක්
නිදන මිනිසුන් අවදි කරවන
මැරුණු හදවත් ජිවත් කරවන
අහසේ මාළිඟා පොළවට කැන්දන
කවියක් වෙන්න
ඕන මට...!!!

Monday, September 14, 2015

යන එන මඟ 1 - බස් බෝම්බය



හැමෝටම මතකය අර බස්වල බෝම්බ පිපිරුණ කාලෙ. හම්මේ නිල්ට නම් පොඩ්ඩක්වත් අමතක නැහැ. මේ යුද්ධේ තිබ්බ මුලුකාලේම නිල් හොඳට එක එක අත්දැකීම් ලබල තියෙනවා. ඉතිං ඔන්න තවත් එක් යන එන මඟ වුණු සිද්ධියක්. 

නිල් උදේට කාර්යාල වැන් රථයක සේවයට ගියත් හවසට වෙලාවට එලියට ඒ ගන්න බැරිවෙන නිසා ගොඩක් වෙලාවට හවසට බස් එකේ තමයි එන්න වුණේ. උදේට එලියට බහිනකොට අම්ම නිල්ට කියන්නේ කොහොම හරි කාර්යාල බස් එකේම එන්න කියලයි. 

‘මං විතරක් බේරිලා හිටියම ඇතිය’ නිල් ඒ වෙලාවට අම්මගෙන් අහනවා. 

‘හපොයි මැරෙන්න අරිනවනම් ඕන තරම් තැන්වලදී මැරෙන්න අරින්න තිබ්බ. එවායෙනුත් බේරගත්තේ බෝම්බෙකින් මැරෙන්න නෙමෙයි’ ඔන්න අම්මගේ උත්තරේ. 

ඔන්න ඒ කාලෙ පුදුම කාලයක්. බස් බෝම්බ පිපිරෙමින් තිබුණා. මිනිස් බෝම්බ වලින් තත්වය එහාට ගිහින් බස් වල පොදු ස්ථාන වල බෝම්බ පිපිරෙන්න පටන් අරන් තිබුණා. නිල්ට මතක විදියට එක දිගට මේවා වුණේ. අපි හරිම බයෙන් ගමන් ගියේ. ඒ අස්සේ කොටි හෙලිකොප්ටර් වලින් ඇවිත් ගහලත් ගියා. ඒ වෙනකම් මායිම් ගම්මානවලට සිමා වෙලා තිබුණ, අපිටත් පැතිරුණත් අපිට නොතේරුණු යුද්ධය අපිට දැනෙන්න පටන් අරන් තිබ්බ. 

ඒ කාලෙ බස් වල රාක්ක ගලවල තිබුණ. රාක්ක ගලවපු නැති බස්වල රාක්ක වලට බඩු දාන්න බැරි වෙන විදියට දැල් ගහල තිබුණා. කොන්දොස්තරගෙයි මිනිස්සුන්ගෙයි වැඩේ, ටිකක් ලොකු බෑග් එකක් අරන් කෙනෙක් නැග්ගොත් එයා දිහා කන්න වගේ බලන් ඉන්න එකයි. 

ඉතිං නිල් කියල වෙනසක් තිබ්බේ නැහැ. නිකන්ම මේ ලෙඩ එයයිටත් බෝ වෙලයි තිබ්බේ. ඔන්න දවසක් නිල් කිරුලපොනෙන් 138 කොටුව බසයකට ගොඩ වුණා කියමුකෝ. වෙලාව හවස 5 ට විතර. වටපිට බලබල හැමෝම ඉන්නේ ඉතිං. හැමෝටම ඕනේ ඉක්මනට බස් එකෙන් බැහැ ගන්න. ඔන්න ඔහොම යනකොට තුන්මුල්ලෙන් විතර නැග්ග මේ බස් එකට කෙනෙක්. ලොකු බෑග් එකක්, කළුයි ඒ මදිවට. හම්මෝ ත්‍රස්තවාදියෙක් වීමට තියෙන සම්භාවිතාව හොඳටම වැඩියි. ආ...ඒ බස් එකේ රාක්ක වලට දැල් ගහල තිබ්බේ නැහැ. ඉතිං මේ පුද්ගලයා දැම්ම බෑග් එක රාක්කෙකට. දාල එයා ගිහින් සීට් එකක වාඩි වුණා. නිල්ට තවත් සැකයි. ‘මිනිහ බැහැල යන්න ඉඩ තියේ. එහෙම වුනොත් නම් මේක අනිවාර්යෙන් බෝම්බයක්.’ ඔන්න ඔහොමයි නිල්ට හිතුණේ. හරි බලමුකෝ කියල හිතපු නිල් මේ මනුස්සය දිහාම බලාගෙන හිටියලු දැන්. බහින්න ගියොත් විතරක් ක්‍රියාත්මක වෙනවා කියල හිතාගෙන.  

එදා දවස, මොකටද කියල නිල් ට මතක නැහැ ඒත් ඔන්න පුදුමාකාර අන්දමේ ට්‍රැෆික් එකක් එදාත් තිබුණා. වෙනදා තියෙන එක නම් නෙමේ. කොම්පඥා වීදියේ ඉඳල කොටුවට ට්‍රැෆික් එකක් එන්න නම් මොකක් හරි විශේෂ දෙයක් තියෙන්නම ඕනේ. සාමාන්යෙන් ඒ දවස්වල ඔය සමහර ප්‍රභූන් යනකොටත් පාර වහලා අපි පැය ගණන් පාරේ ඉන්නවනේ, ඒ එක්කම උද්ඝෝෂණයක්, පෙළපාලියක්, ඔය කොයිකත් වෙන්න පුළුවන් කියල නිල් දන්නවා. ඔන්න බස් එකේ හිටපු අය එකා දෙන්නා බැහැල පයින් යන්න පටන් ගත්ත. නිල් දිගටම අරය දිහා බලාගෙන. එයා බැස්සොත් නිලුත් බහිනවා කියල හිතාගත්තා. ඒත් එයා බහින පාටක් නැහැ. දැන් බස් එක හෙලවෙන්නේවත් නැහැ. කොහොමහරි තව පැය භාගයක් විතර යනකොට මෙන්න බස් එක ගුවන් හමුදා මුලස්ථානය හරියට ආවා. දැන් බස් එකේ ඉන්නෙත් කීප දෙනයි. ඒත් අර මනුස්සය බහින පාටක්වත් නැහැ. ඉතිං නිලත් ඉන්නවා. 

ඔන්න දැන් එක එක්කෙනා අර බෑග් එක දිහාත් බලනවා. ඒක දැකපු කොන්දොස්තර...’අය්යේ ඔයාගේ බෑග් එක ලඟට ගන්න...ලඟට ගන්න...’ කියල කෑගැහවුව.....

මෙන්න මේ මනුස්සය ඒ පාර බෑග් එක ලඟට ඇවිත් හිට ගත්ත .....හප්පච්චියේ දැන් නම් පුපුරවන්නයි යන්නේ.....දැන් මොකද කරන්නේ.....මැරෙන්න තමයි වෙන්නේ. නැත්නම් කොන්දොස්ත්රටවත් කියනවය. නිල් හිතමින්.

ඔන්න ඔය පාර තමයි නිල් හරි සිහියට එළඹුණේ......

දෙවියනේ නිල් කොහොමෙයි එහෙම තීරණය කරන්නේ, ඔය ඉන්නේ ත්‍රස්තවාදියෙක් කියල. එයත් කලුයි නොවැ. ලොකු බෑග් එකක් ළඟ නැති එක විතරයි. කාට හරි කිව්වොත් මේ මනුස්සයව පොලිසියට දෙයි. එක්කෝ පරික්ෂා කරලා බලයි. එහෙම කරලා නිල් ට පුලුවන්ද තමන්ගේ හෘදසාක්ෂියෙන් ගැලවිලා ඉන්න. අහිංසක මිනිස්සු බෝම්බ එක්ක අල්ල ගත්ත කියල පත්තරවල ගිය සමහරක් මිනිස්සු ඇත්තටම එහෙම අල්ල ගත්ත අය නෙමේ කියල නිල්ගේ නීතිඥ යාලුවෙක් කියල තිබුණ එකත් මතක් වුණා. ඉතිං එතකොට මෙහෙම සිතුවිලි වලින් පැය කීපයක් හරි හිටිය කියල දැනෙන කොට නිල්ට ඒක දරා ගන්න බැරිවුණා....දෙවියනේ මම කොහොමද එහෙම තවත් මනුස්සයෙක්ව සැක කරන්නේ. ඔන්න ඔහොමයි නිල්ට හිතුණේ. 

මේ අපි අතරේම ඉන්න මිනිස්සු අපිටම බෝම්බ තිබ්බ කියල........ මනුස්සයෙක් හැටියට තවත් නාඳුනන මනුස්සයෙක්ව සැක කරන්නේ කොහොමය. තමන්ගේම සහෝදර රට වැසියෙක්ව ත්‍රස්තවාදියෙක් කරලා තමන් හොඳ සුදන වෙච්ච කාලකන්නි පැය කීපයක් ගෙවිල ගියා. දොරේ ලංකාවේ හිටියනම් මේ දොරේ වෙන්නත් තිබුණා නේද කියල නිල්ට හිතුණා. දොරේ කියන්නේ නිල්ගේ අල්ලපු ගෙදර හිටපු 83 දී මේ රටේ දී හැම දෙයක්ම නැති කරගෙන මේ රටින් ගිය චන්ද්‍ර ඇන්ටියි සෙල්වරාජ් අන්කල්ගෙයි දෙවැනි පුතා. 

ඉතිං කරන්න දෙයක් නැහැ....මොනවා කියල කරන්නද.......නිල් ලැහැස්ති වුණා...හදිසියෙවත් මේ ත්‍රස්තවාදියෙක් නම්....මේ යන්නේ බස් බෝම්බයක් පුපුරන්න නම්.....ඔව්....ඒ මනුස්සයව සැක කරන්න බැහැ නිල්ට.....ඒක නිසා නිල් ලැහැස්ති වුණා මැරෙන්න......