Saturday, August 20, 2016

චරිත...........



ස්වේත රාත්‍රිය අවසන් ප්‍රසංගය යු ටියුබ් එකෙන් බාගත කලත් තවම අහන්න බැරිවුණා කියල මතක් වෙලා වැඩ  කරන ගමන් ඒක අහන්න ගත්තේ, එහි එකතැනක නිවේදකයා කියනවා ‘ප්‍රේමයෙන් තොර ජිවිතයක් ඔබටත් මටත් නැහැ’ කියල. මටනම් ඒක ගැන හිතුණේ මොන තරම් මුලාවක්ද කියල....කියන අය මොන විදියට කිවත් ප්‍රේමයෙන් තොර ජිවිත තියෙනවා.....මේ කියන්නේ විරුද්ධ ලිංගිකයෙක් එහෙම නැතිනම් තමන් කැමති කෙනෙකුගේ ප්‍රේමය ගැන....කවීන්ට දාර්ශනිකයන්ට අහුවෙන්නේ නැති, ඔවුන් කතා කරන්නේ නැති ....ප්‍රේමයෙන් තොර ජිවිත මේ ලෝකේ ඕන තරම් තියෙනවා......දවල් බලපු ‘ප්යාර් ඉම්පොස්සිබල්’ කියන හින්දි චිත්‍රපටිය මතක් වුණා....ඒකෙ කතා නායකයා එක තැනක කියනවා....මං වගේ අයට කෙල්ලෝ කැමති වෙන්නේ නැහැ...හැමෝම කැමති ගැලපෙන්න ඇඳපු කඩවසම් හාදයන්ට, මං දිහා කෙල්ලෝ බලන්නේ නැහැ කියල....ඒ වගේම ‘මුජ්සේ දොස්ති කරෝගී’ චිත්‍රපටියේ මේ දේ වෙන්නේ කතා නායිකාවට....ඈතින් ඉඳන් ආදරය කරලා...මං දැකපු ගමන් ඔයාගේ හිත හඳුනා ගන්නවා කියල පැමිණෙන පෙම්වතා, දැකපු ගමන් එයාගේ පෙම්වතිය කියල හිතන්නේ එතන ඉන්න ලස්සනම කෙනාව....

චිත්‍රපටි උපුටා දැක්වුවේ මේක චිත්‍රපටියට පමණක් නෙමෙයි ඇත්ත ජිවිතේදීත් එහෙමම වෙනවා කියලා මම සිතන නිසයි........අපි හැමවෙලේම කැමති, අපේ පෙම්වතිය හෝ පෙම්වතා ලස්සන එහෙමත් නැතිනම් කඩවසම් වෙනවට....ලස්සන නැති ගැහැණු ළමයෙකුටත් කඩවසම් නැති පිරිමිලමයෙකුටත් ආදරය හොයාගන්න කොච්චර අමාරුද කියල දැන ගන්න එහෙම වෙලාම බලාගන්න ඕන.....කවුරුහරි දාර්ශනික කතා කියන්න පුළුවන් එහෙම නැහැ, හැමෝම එක වගේ බලන්නේ නැහැ වගේ දේවල්, ඒත් මේ සමාජය එහෙම තමයි බලන්නේ. මේ සමාජයේ කැත දේවල් වලට ඉඩ නැහැ.....සමාජය විකුනන්න පුළුවන් අගයක් දෙන්නේ ඇහැට ප්‍රිය දේවල් වලට...මේ සමාජයේ තියෙන ආකල්ප එක්ක විවාහයට යද්දී ඒක වෙනස් වෙනවා තමයි. මොකද ගොඩක් වෙලාවට විවාහ වෙන්න බලද්දී පිරිමි ළමයාගේ වටින්නේ ලස්සනට වඩා ගැහැණු ළමයාට ආරක්ෂාව සැපයීම සහ කන්න අඳින්න දෙන එක...ගැහැණු ළමක් හොයනකොට නම් මේක ආදරය කරද්දී වගේම තමයි වෙනස් වෙනවා අඩුයි.... බලන්නේ විශේෂයෙන් පාරේ එක්කන් යන්න පුලුවන්ද, නෑදෑයන්ට අඳුන්වල දෙන්න පුලුවන්ද, දරුවන්ට අම්මල වෙන්න සුදුසුද, ගෙදර වැඩ පුලුවන්ද, දෑවැද්ද තියේද වගේ දේවල්......ඕවා නැති ගැහැණු පිරිමි දෙපක්ෂයම තමන්ගේ ජිවිත වලට ආදරය නැතිව මැරෙනකන්ම ජිවත් වෙනවා.....

ඒත් කවි, කතා, සිංදු...සමාජයේ මේ කොටස ගැන ලියවෙන්නේ නැහැ....නව දැලි හේනට පෑව වැඳිරි රුව ගීතය අමතක නැහැ...ඒ වගේම ඉහත කියපු රාමුවලින් පිට යන අය නැතුවත් නෙමෙයි...ඒත් පොදු තත්වය මෙහෙමයි....හැමවෙලේම චිත්‍රපටියක ලස්සනම කෙනා ප්‍රධාන නළුවා. විකට නිළිය මහතයි...විකට නළුවා කෙට්ටුයි උසයි, එක්කෝ දත් බෝල්ලෑයි.....නාට්‍ය චිත්‍රපටි වල ගමේ පොලි මුදලාලි කලුයි මහතයි...කේලම් කියමින් රටවටේම යන කෙනා එක්කෝ මහතයි, නැත්නම් කලුයි කොටයි......සර්කස් එකක විකටයා කොටයි, විකෘතියි......ගමේ ඉන්න කැතම මනුස්සය ගැන කියල බය කරලා තමයි පුංචි ළමයින්ට කෑම කවන්නේ....ලොකු බඩක් තියෙන කෙනා ගේ බඩේ ගිලපු ළමයි ඉන්නවා.....ඔය වගේ දේවල් කොපමණද? අපි නිකමටවත් හිතනවද මේ චරිත ප්‍රධාන චරිත වෙන්න පුළුවන් කියල....

හිත..........



නැවත නැවත රැවටෙන්නට
පාර කියන....... හිත
උඹ නම් මට මහ පුදුමෙකි
මතක නැද්ද....
උඹයි මමයි විඳවපු හැටි


කෑමක් බීමක් නැතුවම

හරියට නින්දත් නොමැතිව
කා එක්කත් කතා නැතිව
වහලේ උළු ගණන් කරපු
ඒ කාලය අමතකයිද....
උඹයි මමයි විඳවපු හැටි
අමතකයිද ඒ විගහට....

එකක් දෙකක් එහෙම නොවෙයි
කිලෝ ගණන් දැකපු හීන
උඹේයි මගෙයි ඉදිරිපිටම
කුඩු පට්ටම් වී යනකොට
උඹයි මමයි විඳවපු හැටි
අමතකයිද ඒ විගහට....

මේ සැමදේ අමතක ලෙස
නැවත නැවත රැවටෙන්නට......
පාර කියන හිත .......

කියපන් මට පටන් ගමුද...
මුලසිට අපි හැම දෙයක්ම ....
කවුළු පියන් හැරදමන්න අවසරයිද නැවතවරක්?


බයයිද උඹ මං වගේම
විඳවන්නට වේවි කියා....
එහෙම වුනොත් ආයෙත් අපි
පටන් ගනිමු මුල ඉඳන්ම!