Friday, July 24, 2015

අම්මා

සති අන්ත රුපවාහිනියේ
දස්කොන් නොවරදවා
අම්මා නරඹන්නේ......


මා ද එය නැරඹු සඳ
අපැහැදිලි තැන් කීපයක් දැක
හසිතගේ හා සුජිවගේ
පෙරදා සමුහයක ඇතිවූ කතා බහකින්
උකහා ගත් දැනුමෙන් බිඳක්
අම්මා ඉදිරියේ තැබුවේ.....

"ඇත්තටම අම්මේ මෙහෙමයි අතීතය...."
මා දොඩමලු වූ සඳ..
මුව මදක් අයාගෙන
ඔලුවත් බිඳක් වන වන
මගේ ශිෂ්‍යයෙක් විලසින
ඇයගේ සවන් මා වෙත යොමුවිය ....

දෙවියන් ඉදිරියේ
එකත්පස්ව වැඳ සිටිනා
භක්තිවන්තයෙක් විලසට
මා කියන සියළු දේ
ඉස් මුදුනින් පිළිගෙන....
මතකයි අම්මේ මුළු ජීවිත කාලෙම
ඔබ මා විශ්වාස කළ වග.


මා ඔබ කුස තුලට ආ දින
මා ඉපදිය යුතු නැතැයි
අත්තම්මා තීරණය කළ සඳ
මගේ දරුවා ගබ්සා නොකරමියි
එකහෙළා තීරණය කළ නුඹ .....

එදා සිට...
ගල් සමඟ මල් පිරුණු ජිවිතේ
පියවරක් පියවරක් පාසාම
ඔබ මාව විශ්වාස කළ බව
දැනෙනකොට ඉනුවා කඳුළු
නෙත් අගට.

තිබුනත් උඹට හීන ගොඩක්
මං වට කරගෙන...
උත්සහ කලේ නැහැ නුඹ
මට බල කර ඒවා මුදුන් පමුණුවා ගන්නට
හැමවිටම මගේ හීනෙ මං උඹට පැවසු කළ
උඹේ හීනෙ අත් හැරියා උඹ
පුංචි නෝක්කඩුවක් වත් නොමැතිව ....

තව ආත්මෙක ඉපදෙන්න
පෙරුම් පිරුවේ නැතත් මම
හදිස්සියෙවත් ඉපදුනොත්
පතනවා උඹ මගේ දුව වෙන්න...

උඹ දුන්න ආදරේ උඹට එහෙමම දෙන්න....
උඹ දුන්න රැකවරණෙ උඹට එහෙමම දෙන්න....
උඹ දුන්න ජිවිතේ ආයේ උඹටම දෙන්න.....

22/03/2015

1 comment:

  1. අම්මා.....තාත්තා.....ආත්තම්මා...සීයා.....අක්කා....
    හැම දාම මාව ගොළු කරන මාර්තෘකා...
    ඒත් ලස්සනයි....!!!

    ReplyDelete