Wednesday, September 30, 2015

නොනිමෙන මතකයක් I



පොත් වසත් සමය, මාත් ගියා ඉතිං පොතක් දෙකක් අරගන්න. ඒත් දුටුව කෙනෙක් නිසා නොනිමෙන මතකයක් අලුත් වුණා. ඉතිං හිතුවා එකත් ලියල බෙදා හදා ගමු කියල. ඔන්න මට ඉස්සර, ඒ කියන්නේ මගේ යව්වන වියේදී තිබුණා ආසාවක් නිවේදකයෙක් වෙන්න. ඔය පෞද්ගලික රේඩියෝ නාලිකා පටන් ගත්තේ අපි පාසලෙන් අයින් වුන ම වගේ කාලෙ. ඉතිං දන්නා කියන තුන් හතර දෙනෙක් මේ නාලිකා වලට නිවේදකයන් හැටියට එකතු වෙලා තිබුණා. මට ත් ඉතිං පුදුම ආසාවක් තිබ්බේ, මම බැලුවා ඉතිං මේ ආසාව ඉෂ්ඨ කරගන්න පුලුවන්ද කියල. 

රේඩියෝ නාලිකා කීපයකටම අයදුම් පත්‍ර යැව්වත් වැඩේ හරි ගියේ නැහැ. දැන ගන්න ලැබුණ විදියට මොකක් හරි සම්බන්ධයක් තිබ්බනම් යන්න පුළුවන් වගේ එකක්. කොහොම හරි මගේ එක මස්සිනා කෙනෙක් හොයා ගත්ත ක්‍රමයක්. ඒ අනුව එක fm නාලිකාවක ප්‍රධානියෙක්ව හම්බ වෙන්න යන්න මටත් ලැබුණා අවස්ථාවක්. මම ගියා එයාගේ කාර්යාලයට. එයා මට එන්න කිව්වා එයාගේ කාර්යාලීය කාමරයට.  එයා කිව්වා මම නම් මේකට ඉන්ටර්විව් කරන්නේ නැහැ සිංහල අංශෙ භාරදීලා තියෙනවා කෙනෙක්ට, එයාට මම එන්න කියන්නම් කියල මේ සිංහල අංශය භාරදීලා තියෙන කෙනාව ගෙන්නුවා. ගෙන්නලා කිව්වා මම අඳුනන කෙනෙක්ගේ දරුවෙක් පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සේ අපි දෙන්නම එලියට ආවා. මේ සිංහල අංශ ප්‍රධානියා මට කිව්වා ඔයා පොඩ්ඩක් ඉන්න මම ඔයාට කතා කරන්නම් කියල. 

ඒ උදේ. මමත් ඉතිං ඉන්නවා. මම කීප සැරයක්ම පිළිගැනීමේ නිලධාරිනියට මතක් කළා ......
මිස් අර අහවලා මට මෙහෙම ඉන්න කිව්වා....අමතක වෙලාද දන්නේ නැහැ....
එයා ගන්නවා කෝල් එකක්......පොඩ්ඩක් ඉන්නලු. කතා කරන්නම්ලු....

මමත් ඉන්නවා. ඔය වගේ තුන් හතර සැරයක් වුණා. ඔහොම බලන් ඉඳල ඉඳල හවස් වුණා. 

පිළිගැනීමේ නිලධාරිනිය යන්න ලං වෙලා එයා ආයේ කෝල් එකක් ගත්ත. මට දැන් ඇහෙනවා. 

....අය්යේ මේ ළමය ඉන්නවා උදේ ඉඳල...එයාව ගන්නේ නැද්ද? හා කියන්නම්.....

එයා රිසිවරය තියල මට කියනවා.......අද ගන්න විදියක් නැහැලු ඔයාව. හෙට උදේට පුළුවන් නම් නවය වෙනකොට එන්න කීවා. 

මගෙ ඉවසීමේ සීමාව ඉක්මවල ගිහින් තිබුනත්....මම ඉවසීමෙන් කිව්වා. .....හා එහෙනම් හෙට මම එන්නම් කියල.

කියල ගෙදර ආවා. පහුවෙනිදා උදේ නවය වෙනකොට ගියා මම ආයෙමත්. 

පිළිගැනීමේ නිලධාරිනිය මාව දැක්ක ගමන් අඳුනගත්ත.....ආ වාඩි වෙන්න මම කියන්නම්. 

ඇය නැවතත් ගත්ත කෝල් එකක්.....අය්යේ ඊයේ අර ආවේ .....ඔයා අද එන්න කිව්වේ.....එයා ඇවිත්....
ඇය රිසිවරය තිබ්බා. ඔයාට කතා කරන්නම්ලු මිස්. 

හරි කියල මමත් ඉන්නවා. ඔය අතරේ ....අර ප්‍රධානියා ඔතනින් යනවා.....පුතා ඔයා මොකද අදත් ....?
මගේ ඉන්ටර් විව් එක ඊයේ තිබ්බේ නැහැ. අද එන්න කිව්වා. 

එහෙමද හරි මම බලන්නම්.......

ඒ උදේ 10.30 ට විතර. එකොළහට විතර මට පණිවුඩයක් ලැබෙනවා එන්න කියල. 

මම ඇතුලට යනවා. සිංහල අංශෙ කියන්නේ එක කාමරයක්. ඔක්කොමල වට වෙලා ඉන්නවා ඉතිං. අංශ ප්‍රධානියාත් පැත්තක තියෙන තනි මේසෙක වැඩ. ඔහු කඩවසම්. තරුණයි. ඒ කාලෙ මගේ හිත ගත් නිවේදකයෙක්. මම හිතුව මගේ වැඩේ හරි මොකද මොහු කොතරම් හොඳ මනුස්සයෙක්ද රේඩියෝ එකේ කතා කරන විදියෙන් තේරෙනවනේ ඉතිං. 

තව පැය භාගෙකින් විතර ඔහු සහ තවත් නිවේදකයෝ දෙන්නෙක් මාව ස්ටුඩියෝ එක ඇතුලට අරන් ගියා. දැන් ඔවුන් එක පැත්තක. මම එක පැත්තක. අර කනට ලොකු හෙඩ්ෆෝන්ස් දාල මයික් එකෙන් මම ඔවුන් අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා. 

තුන් දෙනා විවිධ ප්‍රශ්න මගෙන් ඇහැව්වා....ගීත ගැන සිංහල ගීත, හින්දි ගීත, කැමතිම සිංදු...කැමති පොත්, ඒ පොත්වලින් කොටස්....ඔය වගේ විවිධ දේවල් පැය භාගයක් හෝ විනාඩි පහළොවක් විතර මගෙත් එක්ක කතා කළා. 

වරක් මට ඇහුණා එක නිවේදකයෙක් කියනවා ‘නියමයි ආ’ කියල. මගේ බලාපොරොත්තු දැල් වුණා. මම හිතුව වැඩේ හරි කියල. 

ඔන්න ඉවරවෙලා එලියට ආවා කියමුකෝ. දැන් අර ප්‍රධානියා මුකුත් කියන්නේ නැහැ. මමත් දැන් බලන් ඉන්නවා. දැන් මෙයා යමක් කිව යුතුමයි. අනික් දෙන්න නම් සිනා මුසු මුහුණින් ඉන්නවා. 

ප්‍රධානියා කට ඇරියා.....ඔයාගේ කටහඬේ හරියට සෙම තියෙනවනේ.......

මගේ කට නිකන්ම ඇරෙන්න ඇති....මොකද ඇහැව්වමයි මෙහෙම කට හඬේ සෙම තියෙනවා කියල දෙයක් තියෙනවා කියල ..... අපි ඔයාට දන්වන්නම් හොඳේ......

දැන් වෙද්දී ‘දන්වන්නම්’ එකේ අර්ථය දැනගෙන හිටියත් ඒ කාලෙ මම හිතාගෙන හිටියේ ඇත්තටම ඔවුන් මට දන්වයි කියල. නමුත් ඒ දැන්වීම කවදාවත් ආවේ නැහැ. මම පස්සෙන් ගියෙත් නැහැ. මට බලාගෙන ඉන්න වුනෙත් නැහැ. මම වැඩ කර කර හිටපු තැනින් අස්වෙලා වෙනතැනකට යන්න දාල තිබ්බේ එකම ඇප්ලිකේෂන් එකයි ඒ වෙද්දී. ඔන්න ඒකෙන් කතා කරලා ඉන්ටර්විව් ගිහිල්ල ඒකට තේරුණා. ඉතිං මට එහෙමම නිවේදිකාවක වන ආසාව අමතක වුණා. 

කොහොම හරි ඔය අංශ ප්‍රධානියා....පසුව වෙන වෙන ආයතනවලටත් ගියා....පොතුත් ලිව්වා...ඒත් එයාගේ එක පොතක්වත් මම ගත්තේවත් බැලුවේවත් නැහැ. එයාගේ කිසිම වැඩසටහනක් මම එදායින් පස්සේ ඇහැව්වෙවත් බැලුවේවත් නැහැ. මගේ හිත රිදුණ තරම තමයි. ඒත් මම හදිසියේම එයාව නැවත දැක්ක ගිය සිකුරාදා පොත් ප්‍රදර්ශනයේදී.....

මොන පිස්සුවටද තරහ මරහ මතක තියාගෙන ඉන්නේ මම. මොකද මේ මනුස්සයට මාව මත ඇතිය? මේ වගේ එයා කලේ මටම විතරයිනම් ඉතිං මතක තියෙයි.....කියල හිතල, මමත් ගත්ත එයාගේ පොතක්....වසර 15 කට පස්සේ......මම මගේ පරණ මතකය අමතක කරලා....එයාගේ පොතත් අරන් ලඟට ගිහින් අත්සනක් දාගන්න පොත දික් කළා....එයා පොත අරන් එයාගේ කඩවසම් සිනාව දාල....මිස්ගේ නම මොකද්ද ඇහැව්වා.....මම නම කිව්වා....එයා අත්සන් කරලා දුන්නා......එච්චරයි.      

No comments:

Post a Comment