Friday, September 25, 2015

යන එන මඟ 2: කොළඹ පොත් ප්‍රදර්ශනය

පොත් ප්‍රදර්ශනයට දවස් තුනක්ම ගිය එකේ ප්‍රීතිය නිමිත්තෙන්....

එතනදී අහන්න, දකින්න, බලන්න හම්බ වෙච්ච විවිධ දර්ශන තිබුණා.....ඉතිං පොඩ්ඩක් කට්ටියත් එක්ක
බෙදාගන්න හිතුවා. චුටි සිද්ධි ටිකක්....

=======================================================
දර්ශන අංක 1. අම්මෙකුයි දුවෙකුයි....අම්ම පොත් කාක්කෙක් බව පෙනුන. මහා ගිජු බවින් යුතුව හැම පොතම බලන බවක් පෙනුණා.

පොඩි දුවෙක්. එපා වෙච්ච මුණක්.

අම්මගේ අතේ පොත් ගොඩයි. දුවගේ අතේ පොත් කීපයයි. මේ දෙන්න අතරේ ඇති වෙච්ච දෙබසක්;

Girl: Oh amma…it’s eough now.
Mother: Ok darling I’m finished. I’m finshed.
Girl: (with very happy face) Really? So we can go home now?
Mother: No darling. I mean I’m finshed with this particular stall…..
Girl: Ayyo…

=======================================================
දර්ශන අංක 2. නිල් බලන් හිටිය කෙනෙක් එනකන් D ශාලාවේ කොට බිත්තිය අයිනේ වාඩි වෙලා.

අය්ය කෙනෙකුයි නංගි කෙනෙකුයි ටිකක් ලොකු ස්ටෝල් එකකින් එලියට එනවා. අය්යාගේ අතේ පොත් බෑග් ගොඩයි. නංගි ගේ අත් හෑන්ඩ් බෑග් එකයි පොත් බෑග් කීපයයි. .........

නිල ඉන්න තැනට එහා පැත්තේ තිබුණ ඉඩේ වාඩි වෙන්න ආවා අය්යයි නංගියි.

අය්යාට අමාරුද.....දාඩිය පෙරාගෙන පොත් බෑග් ගොඩ කරගහන් ඉන්න අය්යාගෙන් නංගි අහනවා.

නැහැ දාඩියයි.....අය්ය පරාද වෙන්න කැමති නැහැ වගේ.
අය්ය වාඩි වුණා.

වතුර එකක් තිබුණා නේද? මට ටිකක් දෙන්න .....අය්ය ඉල්ලුවා

නංගි වතුර බෝතලේ හොයනවා. ඉවසන්න බැරිවෙච්ච අය්ය නංගිගේ බෑග් එක අතින් ඇදල ගත්ත. ඔක්කොම පැති ඇරලා බලලා වතුර බෝතලේ හොයා ගත්ත. මෙන්න අය්ය බෑග් එක තුරුල් කරන ඉන්නවා නංගිට දෙන පාටක් නැහැ. නංගිත් ඉල්ලන්නේ නැහැ. නිල් හිතුව අය්ය...නංගි....කිව්වට මේ දෙන්න.....එහෙමම වෙන්න බැහැ වගේ කියල.

අය්ය මමත් මේ ස්ටෝල් එකට ගිහින් එන්නද?

හා ඔය බෑග් ටික මෙතනින් තියල යන්න. නංගිගේ බෑග් ටිකත් දැන් අය්ය ළඟ. ......ම්ම් අය්ය ට්‍රයි වගේ නංගිට....ඔන්න ඔහොමයි නිල්ට හිතුනේ...

අය්ය දැන් බලාගෙනම ඉන්නවා ස්ටෝල් එකේ ඉන්න නංගි දිහා. වැඩේ හරි. නිල් හිතුව හරි.

ටිකක් වෙලාවකින් නංගි එලියට එනවා.....අපෝ මට බැහැ අය්යා.....
ඒකනේ කිව්වේ. මෙතනින් වාඩි වෙලා ඉමු.

දැන් දෙන්න කතා කර කර ඉන්නවා. ඔහොමත් ඕපාදුප හොයන්න බැහැනේ. නිල්ට ඇහුනේ නැහැ ඒ කතා කරපුව.

ටිකක් වෙලාවකින් තවත් තරුණියක් එනවා අර ස්ටෝල් එකෙන් එලියට.....පොත් ගොඩාක් බදාගෙන. .....

හපොයි ....අය්යයි නංගියි කිව්වේ එකපාරට....

අර තරුණිය තරුණයා ලඟට ඇවිත්.....ඔයාට මහන්සිද සුදු.....තව ටිකක් ගන්න තියෙනවා එච්චරයි.

අතේ තිබ්බ පොත් බෑග් ටික තරුණයාගේ අතට.......තරුණයාගේ අතේ තිබ්බ හෑන්ඩ් බෑග් එක තරුණියගේ කරට.......

ආ ආ ....තේරුනේ දැන් තමයි.....

=======================================================
දර්ශන අංක 3. එක්තරා පොත් කුටියක් අසළ හම්බ වෙන අච්චාරු කාරයෙකුයි සුරංගනාවියෙකුයි ..........කතා බහක.

සුරංගනාවී එයාගේ යහළුවන්ට අඳුන්වල දෙනවා අච්චාරු කාරයව...ඔහොම ටික වෙලාවක් කට්ටිය කතා කර කර ඉන්නවා.....දැන් එහෙනම් මම යන්නම්....අච්චාරු කාරය කියනවා....

හා හොඳයි.....එහෙනම් ගිහින් එන්නකෝ......

හදිසියේම අච්චාරු කාරය බෑග් එක අරිනවා.....පොඩි ෂොපින් උරයක් එලියට අරන් දෙනවා සුරංගනාවීට.......හැමෝම කුතු හලෙන් ඒක බලාගෙන ඉන්නවා......

ගල්සියඹලා!

=======================================================
දර්ශන අංක 4. තවත් අම්මෙකුයි දුවෙකුයි.....දුවගේ අතේ පොත් ගොඩායි.....අම්මගේ අතේ පර්ස් එක විතරයි.....

දුවගේ අතේ පොතක්......පසු කවරය කියවනවා......ඔඩිසි

පුතේ මොකද්ද ඔඩිසි කියන්නේ......

දන්නේ නැහැ අම්මේ.....

ඉතිං ඔයා මේක ගන්න යන්නේ?

දන්නේ නැති නිසානේ අම්මේ....දැන ගන්න....

ඉතිං ඔයා ගත්ත අනික් පොත්වල ඒවා ඔයා දැනන් හිටියනේ....

මේක ගන්නේ නැතුව ඉන්න කියලද අම්ම කියන්නේ.....

අනේ මං එහෙම කිව්වේ නැහැනේ .....

අම්මල....පුදුම අම්මල....ඒ මුහුණේ එවලේ තිබ්බ පෙනුමට නිල්ටත් ඒ අම්මට ආදරේ හිතුණා.

නිල් ට මතක් වුණා......

පැටියෝ ....
නුඹ දුවක වුනත් නුඹ පුතෙකු වුනත්
මා නුඹට පුදන්නේ
සැබෑව උතුරන ජීවිතයයි......!!

=======================================================
දර්ශන අංක 5. සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ කුටිය......ගිය අය දකින්න ඇතිනේ ‘කන්දක් සේමා’ ච්ත්‍රපටියේ ට්‍රේලර් එකක් යනවා කුටියේ පැත්තක......

ඇයගේ රසිකාවියක්...ඒ කුටියේ තිබුණ පොත්වලින් විශාල ප්‍රමාණයක් ඇගේ අතෙත් තිබුණා....රාහුබද්ධ මහත්මිය ඒ පොත් වලට ඇගේ අත්සන තබන අතර.....රසිකාවිය දෙස් දෙවොල් තබමින්.....

රසිකාවිය: මේ නිර්මාණේ මේ නිළිය ඉන්නේ කියල මම දන්නේ නැහැනේ ....එයා කොහොමද නුපව හරියට කරන්නේ....

සු. රා.: නැහැ ඇය හොඳට රඟපානවා ච්ත්‍රපටියේ....චරිතෙට හොඳටම සාධාරණයක් ඉටු කළා....

රසිකාවිය: මටනම් විශ්වාස කරන්න අමාරුයි....මම කොහෙත්ම හිතන්නේ නැහැ එහෙම වෙන්න ඇති කියල

සු. රා.: නැහැ ඒක එහෙම වුණා....අධ්‍යක්‍ෂක තුමාත් මුලින් කැමති වුණේ නැහැ.

රසිකාවිය: මගේ කැමතිම පොත ‘කන්දක් සේමා’ නුපා ගේ චරිතේ සමහර තැන්වල මම මාව දකිනවා. ඒකට අසාධාරණයක් වෙනවට මම කැමති නැහැ.

සු. රා.: මාව විශ්වාස කරන්නකෝ. ඔය හැම ච්ත්‍රපට රාමුවක් පටිගත කරද්දීම මම හිටිය. මමත් කැමති නැහැනේ පොතට අසාධාරණයක් වෙනවට. අනික පොතක් පැය දෙකක - දෙකාහමාරක චිත්‍රපටියකට ගන්න එක ලේසි නැහැනේ. මම හිතනවා අපි ඒක හරියට කළා කියල.....

ඔවුන් අතරේ තවත් දෙබස් හුවමාරු වුණා...... ඕක බලන් හිටපු නිල්ට සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වුණා. තමන්ගේ පාඨකයෙක්ව තෘප්තිමත් කරන්න ඇය දරන උත්සාහය......අගය කළ යුතුමයි!

=======================================================
දර්ශන පහක් ඇති කියල හිතෙනවා. නැත්නම් මේක කියවන්න එපාවෙයි.

No comments:

Post a Comment